සයිටම් වෙඩිල්ලට ආණ්ඩුව සම්බන්ධ දැයි ජවිපෙන් සැකයක් |VIDEO

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය එරෙහිව සිදුකරගෙන යනු ලබන සටනට පුර්ණ සහයෝගය ලබා දෙන බවට ජනතා විමුක්ති පෙරමුණ විසින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව වෙත පොරොන්දු ලබා දී තිබේ.

සිසු නායකයන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව 8 බදාදා පක්ෂ මුලස්ථානයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේ සයිටම් ප්‍රධාන විධායක නිලධාරියාට වෙඩිතැබීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකොට සත්‍ය හෙළිදරව් නොකරන තාක් කල් මෙම සිදුවීමට ආණ්ඩුව සම්බන්ධ බවට සාධාරණ සැකයක් මතුවීම වැළැක්වීමට නොහැකි බවයි.

වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු රජයේ අමාත්‍යවරුන් මාධ්‍යයට කරන ප්‍රකාශ මගින් ඇඟවීමට උත්සාහ දරන්නේ වෙඩි තැබීමේ සිද්ධිය පිටුපස සයිටම් ආයතනයට එරෙහිව කටයුතු කරන ව්‍යාපාර සහ සංවිධාන සිටිය හැකි බවට බවද ඔහු චෝදනා කළේය.

පොලිසියේ දක්ෂකම

ආණ්ඩුවේ හැසිරීමත්, සයිටම් ආයතනයේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බලවේගවල ප්‍රකාශනත් සලකා බැලූ කල වෙඩි තැබීම  සයිටම් ආයතනයට එරෙහි දේශපාලන ව්‍යාපාර, සිසු ව්‍යාපාර, බහුජන ව්‍යාපාර  වෙත පැටවීම සදහා දරන උත්සාහයක් ඇති බවට ද මන්ත්‍රීවරයා  සදහන් කළේය.

“අපේ පොලීසිය ඕනෑම අපරාධයක් හොයාගන්න පුළුවන් තරම් දක්‍ෂ පොලීසියක්. පොලීසියට සොයාගත නොහැකි සිදුවීම් පිටුපස ආණ්ඩුව හිටියා. ඒ නිසා තමයි එක්නැලිගොඩ ඝාතනය, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, තාජුඩීන් ඝාතනය වැනි ක‍්‍රියාවල වග උත්තරකරුවන් සොයාගැනීමට නොහැකි වී තිබෙන්නේ. එයින් පැහැදිලි වෙනවා ආණ්ඩුවේ රැකවරණය එම සිදුවීම්වලට තිබෙන බව. ඒ නිසා මෙම වෙඩි තැබීම පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් ආණ්ඩුව විසින් සිදුකළ යුතු බව අපි අවධාරණය කරනවා,” මන්ත්‍රීවරයා වැඩි දුරටත් සදහන් කළේය.

ජවිපෙ සමග එකඟතාවක්

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය එරෙහිව ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග වලට සහයෝගයෙන් වැඩ කරන බවට ජනතා විමුක්ති පෙරමුණ සමග එකඟතාවයකට පැමිණි බවයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු පවසන්නේ.

මාධ්‍යවේදීන් අමතා කැඳවුම්කරු රයන් ජයලත් වැඩි දුරටත් සදහන් කළේ මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සියලු දේශපාලන පක්ෂ සමග ඉදිරියේදී සාකච්ඡා කරන බවයි.

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් වෛද්‍ය  නලින්ද ජයතිස්ස සදහන් කළේ අමාත්‍ය එස්.බී දිසානායක සයිටම් ආයතනය වෙනුවෙන් පෙනී සිටින අතර “ඔහු කොතරම් ඒ වෙනුවෙන් පෙනී සිටිනවාද කියතොත් සයිටම් ආයතනයේ අයිතිකරු එස්.බී.ද කියලා අපිට හිතෙනවා,” යනුවෙනි.

සාකච්ඡාව සදහා  ජවිපෙ නායක අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී  විජිත හේරත්,  දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මෙන්ම  සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය ද එක්ව තිබේ.

ශිෂ්‍ය සංගම් නියෝජනය කරමින් සිසුන් විසිදෙනකුට ආසන්න පිරිසක් ඒ සදහා සහභාගි වු බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සදහන් කරයි.

 

 

 

Related posts

Comments are closed.

Top