යුද අපරාධ විභාග කිරීමට ආණ්ඩුවට “ලොකු හදිස්සියක් නෑ”

අට වසරකට ඉහතදී ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන අදියරේ සිදුවූ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් කඩිනමින් යුක්තිය ඉටු කරන මෙන් යුද පීඩිත ජනතාව දිගින් දිගටම ඉල්ලා සිටියදී  ඒ සඳහා තවත් කල් ගැනීමට රජය බලාපොරොත්තු වෙයි.

රටේ සංහිඳියාව ඇති කිරීම සම්බන්ධයෙන් රජයේ පිළිවෙත ශ්‍රී ලංකාවේ විදේශ මාධ්‍යවේදීන්ට පහදා දෙමින්,   යුද අපරාධ විභාග කිරීම “වඩාත් මතබේදයට තුඩු දී තිබෙන අංගය” ලෙස හැඳින්වූ විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ඒ සඳහා යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් “ලොකු හදිස්සියක් නැති” බවයි.

“තිබෙන විවිධ ක්‍රමවේද රජය විසින් අධ්‍යයනය කරමින් සිටිනවා. එහෙත් අපිට ඒ ගැන ලොකු හදිස්සියක් නෑ. පළමු කොට අනිත් යාන්ත්‍රණ ගැන සිතිය යුතුයි,” යනුවෙන් මංගල සමරවීර අමාත්‍යවරයා කියා සිටියේය.

රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග හවුලේ සම්මත කරගත් ජිනීවා යෝජනාව අනුව ශ්‍රී ලංකාවේ රජය සංක්‍රාන්ති යුක්ති අධිකරණ යාන්ත්‍රණයක්, සත්‍ය කොමිසමක්, වන්දි ක්‍රියාමාර්ගයක් සහ  පුනරාවර්තනය වැළැක්වීමේ ක්‍රියාමාර්ග සඳහා කොමිසමක් පිහිටුවීමට බැඳී සිටී.

එහිදී පීඩිතයන් කේන්ද්‍ර කර ගැනීම අවධාරණය කර තිබුණත් විදේශ අමාත්‍යවරයා කියා සිටියේ “අදාළ සියලු කොටස්කාරයන්ට පිළිගත හැකි,” යාන්ත්‍රණයක් පිහිටුවීම රජයේ අපේක්ෂාව බවයි.

වෙන පාරකට හැරීම

එහිදී පීඩිතයන්ට ප්‍රමුඛතාව දෙනු වෙනුවට අමාත්‍යවරයා රජය මුහුණ පා තිබෙන අභියෝගයක් ලෙසින් හුවා දැක්වුයේ සිංහල හා දෙමළ දෙපාර්ශවය අතර එකඟතාවක් ඇති කරගැනීමේ අසීරුවයි.

“අපි යන්න අවශ්‍ය තරම් වේගයෙන් ගිහින් නෑ. ඒ වුනාට ඔබ දන්නවා අපිට විරුද්ධ සිංහල ජාතිකවාදීන්ට අපේ වේගය වැඩියි. දෙමළ ජාතිකවාදීන්ට අපේ ගමන හෙමින්.”

සංක්‍රාන්ති යුක්ති ක්‍රියාදාමය සාක්ෂාත් කර ගැනීම සඳහා තවත් කල් ගතවන බව අවධාරණය කළ අමාත්‍යවරයා මේ මස අගදී තමන්ගේද සහභාගිත්වයෙන් ජිනීවා නුවර මුළුදෙන ජගත් මානව හිමිකම් සමුළුවේදී රජයේ ඉල්ලීමට වාසිදායක ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවට විශ්වාසය පල කළේය.

“අපි ආපසු හැරෙන්නේ නෑ. හැබැයි වෙන පාරක යන්න ඉඩ තියෙනවා.”

අලුත් ව්‍යවස්ථාව

කෙසේ වෙතත්, සියල්ලටම වඩා රජය මුල් තැනක ලා සලකන්නේ අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම බව මංගල සමරවීර අමාත්‍යවරයා 7 අඟහරුවාදා සිය නිල නිවසට කැඳවනු ලැබූ විදේශ මාධ්‍යවේදීන්ට පැවසීය.

එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගැනීම අසීරු නොවන බවට විදේශ අමාත්‍යවරයා විශ්වාසය පළ කළත්, ජනාධිපති වරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ජනතා විමුක්ති පෙරමුණත් තම යෝජනා දෙනතුරු කල් ගතවනු ඇති බව කියා සිටියේය.

අධිකරණ යාන්ත්‍රණ පිහිටුවීමට පෙර ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීම රජයේ තීන්දුව බව ජනාධිපතිවරයාද පවසා තිබුනි.

නව ව්‍යවස්ථාව සම්මත වීමෙන් අනතුරුව වර්තමාන රජයේ ජයග්‍රහණයට දායක වූ “සියලු මිතුරු බලවේග” ආණ්ඩුව වටා බලමුළු ගැන්වෙනු ඇති බවට මහත් විශ්වාසය පළ කරමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන් අනතුරුව සංක්‍රාන්ති යුක්ති ක්‍රියාදාමය සඳහා ජන අනුමැතිය ලබාගැනීම අසීරු නොවනු ඇති බවයි.

යුද අපරාධ යුක්ති විනිශ්චය සඳහා විදේශීය විනිශ්චයකාරවරුන් දායක කරගැනීම අනිවාර්ය නොවන බවට කරුණු දක්වමින් විදේශ අමාත්‍යවරයා, ඒ ගැන වැරදි අර්ථකථන දෙන බවට නම් නොකළ “විවිධ පුද්ගලයන්” ට දෝෂාරෝපනය කළේය.

කෙසේ වෙතත්, විදේශීය විනිශ්චයකාර දායකත්වය රජය විසින් පත් කරන ලද සංහිදියාව සඳහා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය විසින් නිර්දේශ කර තිබූ අතර දෙමුහුන් අධිකරණයක් වෙනුවෙන් දිගටම පෙනී සිටි ජගත් මානව හිමිකම් ප්‍රධානියා ඊට අනුමැතිය පල කර තිබුනි.

කාර්ය සාධක බලකායේ නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කිරීමට රජය බැඳී නැති බව කී විදේශ අමාත්‍යවරයා සිය පැහැදිලි කිරීමේදී කියා සිටියේ “කිසියම් ආකාරයක ජාත්‍යන්තර දායකත්වයක් සහිත දේශීය සංහිඳියා යාන්ත්‍රණයක්,” ස්ථාපිත කිරීමට යෝජිත බවයි.

මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාවද හවුලේ ඉකුත් ඔක්තෝබරයේ සම්මත කරගත් යෝජනාව සඳහන් කරන්නේ යුද අපරාධ විභාගය කෙරෙන ශ්‍රී ලාංකික අධිකරණ යාන්ත්‍රණයට “විශේෂ නීතිඥ වරයකුගේ කාර්යාලයක්, පොදුරාජ්‍ය මණ්ඩලය සහ වෙනත් විදේශීය විනිසුරුවරුන්, විත්තියේ නීතිඥවරුන් සහ අභිචෝදකයන් සහ විමර්ශකයන්,” ඇතුලත් විය යුතු බවයි.

වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ තිබූ විශ්වසනීය ලෙස ඔහු විසින් හඳුන්වනු ලැබූ අධිකරණ යාන්ත්‍රණය විනාශ කිරීම ගැන විදේශ ඇමැතිවරයා හිටපු ජනාධිපතිවරයාට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.

“වසර ගණනාවක් තිස්සේ අපේ ක්‍රමයේ තිබූ විශ්වසනීය භාවය  විනාශ කළේ මහින්ද රාජපක්ෂගේ ජාතිවාදී මානසිකත්වය සහ අධිකාරවාදී ක්‍රමවේදයයි,” යනුවෙන් ඔහු පැවසීය.

“විශ්වසනීය අධිකරණ පද්ධතියක් ඇති බව ශ්‍රී ලංකාවට ආඩම්බරයෙන් කිව හැකි නම් ඉදිරියට යාමේ මාර්ගය එයයි.”

කෙසේ වෙතත්, රජයේ ආරක්ෂක අංශ වලට එරෙහි චෝදනා විභාග කිරීමට ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය අසමත් බවට නිගමනය කොට ඇ ති එක්සත් ජාතීන්ගේ සංවිධානය ආණ්ඩුවට තදින්ම නිර්දේශ කර ඇත්තේ පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණය බරපතල ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු බවයි.

සේයා: ඉෂාර කොඩිකාර 

Related posts

Comments are closed.

Top