ආණ්ඩුව කරන්නේ බොරු කියා එක රැස්වීමෙන් එලි වුනා: අතුරුදහන් වූවන්ගේ ඥාතීන්  | VIDEO

අතුරුදහන් වූවන් සොයා දීම සඳහා මුණගැසෙන ලෙස කරන ලද ආරාධනයකින් මාරාන්තික උපවාසයක් අත්හිටුවා කොළඹ පැමිණි තමන්ට ආණ්ඩුව කරන්නේ බොරුවක් බව එක රැස්වීමෙන්ම හෙළිදරව් වූ බව පවසන උතුරේ යුද පීඩිතයන් පිරිසක් රජය සමග සාකච්ඡාවෙන් දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් ඉවතට යවා තිබේ.

රජයේ ප්‍රබල ඇමැතිවරුන් කණ්ඩායමක් සහ පොලිස් ප්‍රධානියා සමග අරලිය ගහ මන්දිරයේ පැවැත්වූ සාකච්ඡාවකට පැමිණි අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ නියෝජිත පිරිසක් විසින් එහි පැමිණි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයට දැඩිසේ විරෝධය පා ඇත්තේ හත් අවුරුද්දක් තිස්සේ විසඳීමක් ලබා නොදුන් දේශපාලකයන් නොමැතිව තමන්ටම ප්‍රශ්නය ඉදිරිපත් කළ හැකි බව පවසමිනි.

විරෝධය නිසා දෙමළ ජාතික සන්ධානයේ එම් ඒ සුමන්දිරන්, චාර්ල්ස් නිර්මලනාදන් සහ තමන්ට ඉවත් වන්නට සිදුවූ බව සෙල්වම් අඩෙයික්කලනාදන් මන්ත්‍රීවරයා ගගන හා කියා සිටියේය.

පනහ සහ එක

අතුරුදහන් වුවන් සොයා දෙන ලෙස ඉල්ලා සිවීමට පනස් වතාවකටත් වඩා ජනාධිපතිවරයාත්, අගමැති වරයාත් හමුවී ඇතැයි සුමන්දිරන් මන්ත්‍රීවරයා කී වග අරලියගහ මන්දිරයේ සාකච්ඡාවෙන් අනතුරුව ඥාතීහු කොළඹ දී මාධ්‍යවේදීන් අමතා කියා සිටියහ.

“ආණ්ඩුව මුකුත් නොදී බොරු කරන බව අපිට එක රැස්වීමෙන් තේරුම් ගිය එකට සුමන්දිරන් මන්ත්‍රී තුමා පනස් වතාවක් යන්න අවශ්‍ය නැතැ,” යි  වව්නියාවේ සිට පැමිණි ඥාතියකු පැවසුවේ දැඩි නොසතුටෙනි.

අගමැති පොරොන්දුව

ඔවුන් කොළඹ පැමිණ සිටියේ තම සමීපතමයන් සොයා ගැනීම සඳහා මාරාන්තික උපවාසයක යෙදී සිටියදී ඒ සම්බන්ධයෙන්  සාකච්ඡා කිරීම සඳහා නීතිපතිවරයා සමග අරලියගහ මන්දිරයේදී මුණ ගැසෙන බවට අගමැතිවරයා විසින් දෙන ලද සහතිකයක් අනුවයි.

දෙසතියකට ඉහතදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන වව්නියාවට පැමිණ උපවාසකරුවන් මුණගැසුනු අවස්ථාවේ මන්නාරම මීසම බාර වික්ටර් සෝසෙයි පියතුමා සමග දුරකතනයෙන් කතා කළ අගමැතිවරයා තමන් හමුවීමට අවස්ථාවක් ලබා දීමෙන් අනතුරුව උපවාසය තාවකාලිකව අත් හිටුවන ලදී.

එම පොරොන්දුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන විසින් සිංහල, දෙමළ දෙබසින්ම ලිඛිතව ලබා දී තිබුනි.

කෙසේ වෙතත්, නියම කරන ලද පරිදි 9 බ්‍රහස්පතින්දා කොළඹ ගිය ඥාති පිරිසගේ බලාපොරොත්තු කඩ කරමින් ඔවුන් හමුවට අගමැතිවරයා හෝ නීතිපතිවරයා පැමිණ නැත.

ඒ වෙනුවට රජයේ නියෝජිතයන් ලෙස සාකච්ඡාව සදහා සහභාගි වී ඇත්තේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, නීතිය සහ සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක සමග බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් සහ පොලිස්පති පුජිත් විජේසුන්දරයි.

ඉදිරි සටන් මාර්ගය

මාරාන්තික උපවාසයේ නිරතව සිටි 14 දෙනාගේ ඥාතීන් සොයා ගැනීම සදහා පොලිස්පතිතුමාගේ නායකත්වයෙන් යුත් විශේෂ කොමිසමක් යෙදවීමට රජය යෝජනා කර තිබේ.

එය දැඩිව ප්‍රතික්ෂේප කර ඇති නියෝජිත පිරිස රජයට දැඩිව අවධාරණය කර ඇත්තේ තමන් මාරාන්තික උපවාසයක නිරත වුයේ තම දරුවන් සහ ඥාතීන් වෙනුවෙන් පමණක් නොව අතුරුදහන්ව සිටින සියලු ජනතාව වෙනුවෙන් සහ සියලු දේශපාලන සිරකරුවන් වෙනුවෙන් බවයි.

අතුරුදහන්වුවන් සොයා දීමට රජයට අවංක උවමනාවක් වේ නම් පළමුකොට දේශපාලන සිරකරුවන් නිදහස් කර එය ඔප්පු කරන ලෙසටද ඔවුන් රජයේ ප්‍රබලයන්ට අභියෝග කර තිබේ.

ඒ සම්බන්ධයෙන් පිළිතුරක් නොලද තැන වව්නියාවෙන් පැමිණි නියෝජිත පිරිස දැනුම් දී ඇත්තේ ආපසු ගොස් අනිකුත් යුද පීඩිතයන් හා සාකච්ඡා කර තම අරගලය වඩාත් ඉහල අදියරකට ගෙනයාම පිළිබඳව තීරණයක් ගන්නා බවයි.

Related posts

Comments are closed.

Top