“බලතලවලට අත නොතබනු!”  උතුර සමග මැද පළාත එකතු වෙයි | VIDEO

පළාත් පාලන ආයතන සතු බලතල ආපසු පවරා ගැනීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට කිසිසේත් ඉඩ නොදෙන බව මධ්‍යම පළාත් සභාවේත්, උතුරු පළාත් සභාවේත් මහ ඇමැතිවරුන් විසින් අනතුරු අඟවා තිබේ.

දශක ගණනාවක් තිස්සේ පළාත් පාලන ආයතන සතු වූ බලතල වලින් සෑහෙන ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගන්නා බව රජය මේ සතියේ ප්‍රකාශයට පත් කර තිබුනි

පසුදාම ඊට එරෙහිව උතුරේ මහ ඇමැති සී වී විග්නේස්වරන් ගෙනා යෝජනාවක් උතුරු පළාත් සභාව විසින් ඒකමතිකව සම්මත කළ අතර රජයේ ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරන මධ්‍යම පළාත් මහ ඇමැතිවරයා කියා සිටියේ පළාත් පාලන ආයතන වල බලතල ආපසු ගැනීමට මහ ඇමතිවරුන් ඉඩ නොදෙන බවයි.

රජය ගත් පියවර මහ මහ ඇමතිවරුන් දෙදෙනාම විසින් හෙලා දකිනු ලැබුවේ “බලය බෙදීම ගැන කතා කරමින් මධ්‍යම ආණ්ඩුවට බලතල පවරා ගැනීමේ” වැඩ පිළිවෙලක් ලෙසයි.

ලබ්බට තියපු අත

“ලබ්බට තියපු අත තමයි පුහුලටත් තියන්නේ,” යි මැද පළාතේ මහ ඇමැති සරත් ඒකනායක 10 සිකුරාදා මහනුවරදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

චම්පික රණවක අමාත්‍යවරයා යටතේ පවතින මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් 8 බදාදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පළාත් පාලන ආයතන වල අක‍්‍රමිකතා සහ යල් පැන ගිය තාක්ෂණික ක‍්‍රමවේද විශේෂ සංවර්ධන වැඩකටයුතුවලදී දැඩි ප‍්‍රමාදයක් ඇතිවීමට බලපාන හෙයින්ද රජය බලතල පවරා ගන්නා ලද බවයි.

13ටත් එහා යාම

කෙසේ වෙතත්, රජයේ නව ක්‍රියා පිළිවෙතින් සිදු වන්නේ පළාත් පාලන ආයතන මගින් මහජනතාවට සැලසෙන සේවා පහසුව නැති කිරීමක් බවයි මධ්‍යම පළාත් මහ ඇමතිවරයා පවසන්නේ.

පළාත් වලට වැඩි බලතල පැවරෙන අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ අපේක්ෂාව පල කරමින් රාජ්‍ය නායකයන් කරන ප්‍රකාශ ද මහ ඇමැතිවරයා විසින් අභියෝගයට ලක් කරන ලදී.

ව්‍යවස්ථා සංශෝධනය මගින් වැඩි බලතල බෙදා හරිමින් “13ටත් එහා යන්න කතා කරන වර්තමාන නායකයන්” පළාත් සභා යටතේ පවතින පළාත් පාලන ආයතන වල බලතල පවරා ගැනීමට සැරසෙන්නේ නම්, “නිකං ඉන්නේ නැති” බවට මහ ඇමැති සරත් ඒකනායක අනතුරු අඟවා සිටියේය.

පළාත් සභා බලතල තවත් කප්පාදු කොට සුපිරි අමාත්‍යවරයකු අත පත් කිරීමේ අරමුණින් ගෙන එනු ලැබූ සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත පළාත් සභා වලින් පරාජය කරනු ලැබීමෙන් පසු ආණ්ඩුව විසින් පසුගිය වසරේදී හකුලා ගන්නා ලදී.

Related posts

Comments are closed.

Top