ඉඩම් දීමේ අගමැති පොරොන්දුව ඉටු කරන තෙක් අඛණ්ඩ උපවාසයක්

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සති දෙකකට ආසන්න කාලයක් විරෝධතාවයේ යෙදී සිටින ජනතාව
සතු ඉඩම් වල වාඩි ලා සිටින යුද හමුදාව ඉවත් කිරීමට අගමැතිවරයා දුන් පොරොන්දුව ඉටු කරන මෙන් බලකරමින් දින නියමයක් නොමැති උපවාසයක් ආරම්භ කර තිබේ.

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පවුල් 49 කට අයත් ඉඩම් අක්කර 19 ක් නිදහස් කරන ලෙ ඉල්ලමින් පෙබරවාරි 3 සිකුරාදා උදෑසන විරෝධතාවය ආරම්භ කළ ඔවුන් 14 අඟහරුවාදා සිට එය උපවාසයක් ලෙස ආරම්භ කළ බවයි ගගන මුලතිව් වාර්තාකරු පවසන්නේ.

වසර 60ක පමණ කාලයක් තමන් පදිංචිව සිටි භුමියෙන් යුද්ධය හේතුවෙන් ඉවත් වීමට සිදුවු අතර යුද්ධය නිමාවීමෙන් පසු 2011 වසරේ ආපසු තම ගම් බිම් වලට පැමිණියත් රජයේ හමුදාව විසින් තම ඉඩම් අත්පත් කරගෙන සිටින බව එම ජනතාව සදහන් කරයි.

2011 වසරේ සිට තම ඥාතීන්ගේ නිවෙස් වල දිවි ගෙවන පවුල් 49 ට අයත් වැසියන් සඳහන් කරන්නේ මුලතිව් ප්‍රදේශයේ බොහොමයක් ඉඩම් නිදහස් කිරීමට රජය කටයුතු කළත් තමන්ට අයත් ඉඩම් නිදහස් කිරීමට මේ වන තෙක් පියවර ගෙන නොමැති බවයි.

එම ජනතාව පවසන පරිදි යුද හමුදාව වාඩි ලා සිටින එම ඉඩම් පිහිටා ඇත්තේ මුලතිව් නගර මධ්‍යයේය.

ඉඩම් ලැබෙන තුරු තම අරගලය අඛණ්ඩව පවත්වාගෙන යන බව විරෝධතා කරුවන් අගමැතිවරයා මුණගැසී දැනුම් දී තිබුණි.

ආණ්ඩුවේ පොරොන්දු

විරෝධතාකරුවන් අතරින් පස් දෙනකු 9 බ්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා විසින් එම ජනතාවට පොරොන්දු වී තිබුනේ රජය සතු ඉඩම් හමුදාවට ලබා දී මුල් පදිංචි කරුවන් සතු ඉඩම් ආපසු ලබා දීමට කටයුතු කරන බවයි.

 

ඉඩම් හඳුනාගැනීම සඳහා සමීක්ෂණයක් කර වාර්තාවක් දෙන මෙන් අගමැතිවරයා ඒ අවස්ථාවේ සම්බන්ධීකරණ ලේකම්වරයකුට නියම කළ බවද එම් ඒ සුමන්දිරන් සහ චාර්ල්ස් නිර්මලනාදන් සමග දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් සහභාගි වූ සෙල්වම් අඩෙයික්කලනාදන් මන්ත්‍රීවරයා මීට ඉහතදී ගගන හා පැවසීය.

එහිදී එම ජනතාව දැඩිව අවධාරණය කර තිබුනේ අගමැතිවරයා සිය පොරොන්දුව ඉටු කරන තෙක් විරෝධතාව අත් නොහරින බවයි.

පොරොන්දු වු පරිදි අගමැතිවරයා මේ දක්වා තම ඉල්ලීම් ඉටු කර නොමැති බවට එම ජනතාව චෝදනා නගන බවද ගගන මුලතිව් වාර්තාකරු වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

Comments are closed.

Top