යුද අපරාධ හෙව්වොත් අලුත් ව්‍යවස්ථාව නැතිවෙයි: චන්ද්‍රිකා

යුද අපරාධ විභාග කිරීමට ගියහොත් රටට අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම සිදු කළ නොහැකි වනු ඇති බවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග බිය පල කරයි.

කෙසේ වෙතත්, අලුත් ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදීමත් පෙරට වඩා අසීරු අභියෝගයක් වී ඇති බවයි ශ්‍රී ලංකාවේ විදේශ මාධ්‍යවේදීන් සමග සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරිය ප්‍රකාශ කළේ.

ජාතික හෙළ උරුමය, බොදු බල සේනා සහ ඒකාබද්ධ විපක්ෂය වැනි තමන්ගේ පාලන සමයේ තිබුණු බලවේග අද ශක්තිමත්ව තිබීම “දරුණු අභියෝගයක්” ලෙස ඇය විසින් හඳුන්වන ලදී.

යුද අපරාධ වලට වගකිව යුත්තන් සොයා දඬුවම් කිරීම පසුව කළ හැකි දෙයක් බව විශ්වාස කරන චන්ද්‍රිකා කුමාරතුංග මාධ්‍යවේදීන්ට කියා සිටියේ මේ මොහොතේ ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමෙන් රජයේ සන්නද්ධ අංශ කලබලයට පත් විය හැකි බවයි.

“ඒක ආවොත් ව්‍යවස්ථාව නැතිවෙයි. හමුදාව ඇවිස්සිලා ලොකු කෑ කොස්සන් ගැහිල්ලක් වේවි,” යි හිටපු ජනාධිපතිනිය අනතුරු ඇඟවුවාය.

අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය බව අවධාරණය කළ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ නායිකාවද වන ඇය ඊට මුහුණ දීම සඳහා බහුජන ව්‍යාපාරයක් නොතිබීම අඩුවක් ලෙස පෙන්වා දුන්නාය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ වෙනුවෙන් කැපවී සිටිනවා. සමහරු විතරයි නැත්තේ. ඒ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ අය. කාටත් ගැටළුවක් වී තියෙන්නේ ජනමත විචාරණය. ඒකට සුදු නෙළුම වගේ ව්‍යාපාරයක් තියෙන්න ඕනේ,” යි පැවසූ හිටපු ජනාධිපතිනිය තත්වය වෙනස් විය හැකි බවට සුබවාදී ලෙස විශ්වාසය පල කළාය.

ඒ සම්බන්ධයෙන් රජයට කිසිදු සැලසුමක් නැති බව කී ඇය ඉදිරි කාලයේදී එවැනි ව්‍යාපාරයක් ආරම්භ කරන බව දැනුම් දුන්නාය.

සේයා: ඉෂාර කොඩිකාර 

Related posts

Comments are closed.

Top