පෝට් සිටි හා හම්බන්තොට මහා පරිමාණ චීන ආයෝජන නවතී | VIDEO 

කොළඹ වරාය පුර සහ හම්බන්තොට වරාය සඳහා සිදු කිරීමට නියමිත චීන ආයෝජන චීනයේ මුල් පෙලේ ආයෝජකයන් නොසන්සුන් කරමින් දින නියමයක් නැතිව කල් දමා තිබේ.

චීනයට කිසිදු දැනුම් දීමකින් තොරව අත් හිටුවා ඇති නිසා වරාය  නගරය කටයුතු කරගෙන යාමත් වරායට අමතරව අවශ්‍ය ඉඩම් ප්‍රමාණය ලබා ගැනීමෙන් තොරව හම්බන්තොට ආයෝජන කිරීමත් සිදු කළ නොහැකි බව චීනය පවසයි.

කොළඹ වරායපුර වැඩකටයුතු අත් හිටුවා ඇති බව තමන් දැනගත්තේ සතියකට පමණ ඉහතදී බව ශ්‍රී ලංකාවේ තානාපතිවරයා සිය විශ්මය පළකරමින් හෙළි කළේ කොළඹ බණ්ඩාරනායක සමරු රඟහලේ පැවති සුජාතා ජයවර්ධන සමරු දේශනය  පවත්වමිනි.

“ඒ තරම් මෙගා ව්‍යාපෘතියක් හිටි අඩියේ නවත්වන්නේ කොහොමද කියා මට හිතා ගන්න බෑ,” යි චීන තානාපති යී ෂියන් ලියන් ප්‍රකාශ කළේය.

මාගම්පුර වරාය ව්‍යාපෘතිය වෙනුවෙන් ඉඩම් ලබා ගැනීමට එරෙහිව නීතිමය බාධක මතුවී තිබීම හම්බන්තොට ආයෝජන නැවැත්වීමටද හේතු වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

අක්කර පහළොස් දහසක්

අක්කර පහළොස්දහසකට ආසන්න භුමි භාගයක් වරාය සමගින්ම අවශ්‍ය බව ඔහු දැඩිසේ අවධාරණය කරයි.

“අපට වරාය පමණක් ලැබී කර්මාන්ත කලාපය නොලැබුනොත් වරාය ලැබීමේ තේරුම කුමක් ද? ඒ නිසා වරයා පමණක් නොවෙයි කර්මාන්ත කලාපයත් අවශ්‍ය වනවා ” චීන තානාපතිවරයා අවධාරණය කරයි.

කෙසේ වෙතත්, දෙරටේ ඓතිහාසික සමීප සබඳතා සලකා බලා ඉවසීමෙන් කටයුතු කරන ලෙස චීන ජනාධිපතිවරයා තමන්ට උපදෙස් දී ඇති බව ඔහු කියා සිටියේය.

ආණ්ඩු ඉවසා සිටියත් ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමේ අපේක්ෂාවෙන් සිටින චීනයේ ඉහලම  ව්‍යාපාරිකයන්ට එසේ කල් බලා සිටීමේ හැකියාවක් නැති බවයි ඔහු පෙන්වා දුන්නේ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් හමුවී ඒ ගැන විමසන ලෙස තමන්ගෙන් ප්‍රශ්න කළ ආයෝජකයන්ට උපදෙස් දෙන ලද බවයි ශ්‍රී ලංකාවේ චීන තානාපති වරයා වැඩි දුරටත් කියා සිටියේ.

දිගටම විරෝධතා

හම්බන්තොට ගිවිසුම පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී අත්සන් කිරීමට නියමිතව තිබු අතර ඒ අනුව හම්බන්තොට වරායෙන් 80% ක ප්‍රමාණයක් චීනයේ චයිනා මර්චන්ට් සමාගමටත් ඉතිරි 20%  ශ්‍රී  ලංකා වරායටත් හිමිවීමට  යෝජිතව  තිබුණි.

වරාය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුමේ වටිනාකම ලෙස දැක්වුණේ ඩොලර් බිලියන 1.1කි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වීම  හේතුවෙන් ජනවාරි 7 දක්වා කල් ගත විය.

නමුත් එම දිනයටත් වරාය සම්බන්ධයෙන් ගිවිසුම  අත්සන් කිරීම ප්‍රමාද වුවද හම්බන්තොට ආර්ථික කලාපය විවෘත කිරීමට රජය කටයුතු කළේය.

එම අවස්ථාවේ ද ආණ්ඩුවේ ආධාරකරුවන් හා ප්‍රදේශවාසීන් අතර ප්‍රචණ්ඩ ගැටුමකින් අනතුරුව පිරිසක් අත් අඩංගුවට ගැනීමද සිදුවිය.

මෙම කලාපය සම්බන්ධයෙන් උසාවියේදී අභියෝගයකට ලක්කරමින් නඩුවක් පැවරුන අතර මීළඟ නඩු වාරය යෙදී ඇත්තේ මාර්තු 3 වැනිදාටය.

 

Related posts

Comments are closed.

Top