යුද පීඩිත දෙමළ කාන්තාවන්ට තවමත් ලිංගික අතවර: චන්ද්‍රිකා

යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ කාන්තාවන් තවමත් හමුදා සෙබළුන්ගේ මෙන්ම රජයේ නිලධාරීන්ගේත් ලිංගික අතවරයට ගොදුරුවන බව හිටපු ජනාධිපතිනිය පවසයි.

වර්තමාන ආණ්ඩුවේ පාලනය යටතේත් දෙමළ කාන්තාවන් ලිංගික හිංසනයට ලක්වන බව ශ්‍රී ලංකාවේ  සංහිඳියාව භාර ප්‍රධානතම ආයතනයේ  මුලිකත්වය දරන චන්ද්‍රිකා කුමාරතුංග විසින් පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ විදේශීය මාධ්‍යවේදීන්ගේ සංගමය හමුවේය.

යුද්ධයෙන් ස්වාමි පුරුෂයන් අහිමි වූ හෝ අතුරුදහන් වූ යුද වැන්දඹුවන්ද තුලු කාන්තාවන් වෙනුවෙන් එදිනෙදා  රාජකාරි කටයුතු කිරීමට පවා ලිංගික අල්ලස් ඉල්ලන බවට ඇය හෙළි කර සිටියාය.

“තවමත් ලිංගික අපචාර සිදුවෙනවා. ඉතා පහලම මට්ටම දක්වා ග්‍රාමසේවකයන් ද ඇතුළු දෙමළ නිලධාරීන් ගෙන් පවා. ලියැවිල්ලක් අත්සන් කරන්න පවා. සහතික වශයෙන්ම යුද හමුදාවේ ඉන්න අයත් කරනවා,” යනුවෙන් හිටපු ජනාධිපතිනිය පැවසුවාය.

උතුරේ කාන්තාවන් ගේ ජීවිකාව සකසා දී බල ගැන්වීමෙන් ඔවුන් ලිංගික සූරා කෑමෙන් ගලවා ගත හැකි බව ඇගේ විශ්වාසයයි.

සංහිඳියාවට නිල ප්‍රතිපත්තියක්

ආණ්ඩුවේ නිල සංහිඳියා ප්‍රතිපත්තිය වෙනුවෙන් සකස් කරන ලද ජාතික සැලැස්මක් නුදුරු කාලයේදී කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව කී චන්ද්‍රිකා කුමාරතුංග යුද අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම ඇතුළු රටේ සංහිඳියාව වෙනුවෙන් කළ යුතු සියල්ල එහි දැක්වෙන බවද කියා සිටියාය.

“අලුත් ව්‍යවස්ථාවක් තුලින් දේශපාලන විසඳුමක් ලබා ගැනීමේ අවශ්‍යතාව, සමාජ යුක්තිය, ආර්ථික යුක්තිය, සංක්‍රාන්ති යුක්තිය යනාදී හැම දෙයක්ම ඊට ඇතුලත්,” බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

Comments are closed.

Top