ගුවන් හමුදාව කේපාපුලවූ හි වාඩිලා ඉන්නේ “වන සංරක්ෂිතයක” | VIDEO

මුල් ගම්බිම් වල අයිතිය වෙනුවෙන් දියත් කොට තිබෙන මුලතිව් ඉඩම් අරගලයෙන් හෙළිවන්නේ හමුදාව අල්ලාගෙන සිටින ඉඩම් මුදා දීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හෙමින් ගමන යැයි උතුරේ බහුජන සංවිධාන කිහිපයක් පෙන්වා දෙන අතරේ ගුවන් හමුදාව වාඩිලාගෙන ඉන්නේ සංරක්ෂිත භූමියක බව වන නිලධාරීහු පවසති.

හමුදාව වාඩිලාගෙන සිටින භූමිය ආපසු ලබා දෙන ලෙස බලකරමින් සති තුනකට ආසන්න කාලයක් සත්‍යග්‍රහයක නිරත කේපාපුලවූ මුල් පදිංචි කරුවන් තමන් හමුවට සෙනසුරාදා ආ වන සංරක්ෂණ නිලධාරීන්ට ඉඩම් ඔප්පු පෙන්වූ කල ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට තවත් කල් ඉල්ලා තිබේ.

වන නිලධාරීන් පවසා ඇත්තේ ඉල්ලා සිටින භූමියේ අයිතිය සහතික කරමින් ප්‍රාදේශීය ලේකම්වරයා දී ඇති බලපත්‍ර නීත්‍යානුකුල නොවන අතර 2002 සිට ඒවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු බවයි.

කෙසේ වෙතත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු බව පවසන භුමියේ වාඩිලාගෙන සිටින ගුවන් හමුදා බලධාරීන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර අයිතිය නිරවුල් කිරීමට උද්ඝෝෂකයන් කළ ඉල්ලීම එම නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

මරණ තර්ජන

මේ අතර ගුවන් හමුදාව තමන් වාඩිලා ගෙන සිටින භූමියට හිමිකම් කියා ඇත්තේ මරණීය තර්ජනයක් රැගත් දැන්වීම් පුවරු අලුතින් සවි කරමිනි.

“මේ භූමිය අයිති ගුවන් හමුදාවටයි. කිසිම හේතුවක් නැතිව මෙහි අනවසරයෙන් ඇතුල් වන්නන් වෙඩි තබා මරනු ලැබේ,” යි එහි දෙමළෙන් සඳහන්ය.

ඉඩම් ඉල්ලා කෙරෙන උද්ඝෝෂණයට සහයෝගය පල කරමින් නිවේදනයක් නිකුත් කරන සංවිධාන දහයක් භුමිය වහාම නිදහස් කර දෙන ලෙස රජයට බල කර සිටී.

“ආරක්ෂක හමුදා විසින් උතුරු නැගෙනහිර පුරා වාඩිලාගෙන සිටින ඉඩම් මුදා හරින බවට ආණ්ඩුව කළ නොමග යවන සුළු ප්‍රචාරයත්, එහි ප්‍රගතියේ මන්දගාමී බවත් කේපාපුලවු වල තත්වයෙන් විදහා දැක්වෙයි,” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වෙයි.

පවුල් 84 කට අයිති පිලක්කුඩියිරුප්පුවේ ඉඩම් අල්ලාගෙන සිටින හමුදාව ආපසු පැමිණෙන අයට නැවත ජීවිකාව කරගත නොහැකි වන ආකාරයෙන් ගේදොර කඩා බිඳ දමමින් ගස් කපා ගිනි තබමින් විනාශයක් සිදු කරන බවට එම සංවිධාන චෝදනා කරයි.

එම විනාශය නවතා දැමීමට වහාම මැදිහත් වන ලෙස නිවේදනය රජයෙන් ඉල්ලා සිටී.

ඉඩම් නිදහස් කළ බවට රජයෙන් මීට ඉහතදී ලද නිවේදනයක් පරිදි පදිංචියට ගිය අවස්ථාවේ බලධාරීන් විසින් ඊට අවසර දීමෙන් වැළකී සිටීමට විරෝධය පාමින් මුලතිව් දිස්ත්‍රික්කයේ යුද්ධයෙන් ගේදොර අහිමි වූ මුලතිව් දිස්ත්‍රික්කයේ කරෙයිතුරෙයිපත්තු ප්‍රාද්ශීය ලේකම් කොට්ඨාශයේ කේපාපුලව් ග්‍රාම නිලධාරී වසමට අයත් පිලව්කුඩියිරුප්පු ග්‍රාමයේ මුල් පදිංචි කරුවන් විසින්  උපවාසයක් ආරම්භ කරන ලද්දේ ජනවාරි 31 අඟහරුවාදා උදෑසනයි.

Related posts

Comments are closed.

Top