උතුරේ ලිංගික අතවර ගැන කී චන්ද්‍රිකාට යුද හමුදා ප්‍රහාරයක්  

උතුරේ දෙමළ කාන්තාවන් අදටත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ලිංගික අතවරයට ගොදුරු වන බවට ජනාධිපතිවරයා යටතේ පවතින ආයතනයක ප්‍රධානියා ලෙසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් කරන ලද ප්‍රකාශය හමුදා ප්‍රධානීන් කැළඹීමට පත් කර තිබේ.

යුද්ධයෙන් පසු කාල වකවානුවේදී දෙමළ කාන්තාවන් යුද හමුදාවේ ලිංගික සූරා කෑමට හා අපචාරයට ලක් වන බවට හිටපු ජනාධිපතිනිය විසින් ඉකුත් සතියේ කරන ලද චෝදනාවක්  ජනාධිපතිවරයා විසින් සේනාධිනායකත්වය දරන යුද හමුදා මුලස්ථානය විසින් දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත්තේ පදනම් විරහිත එකක් ලෙසිනි.

හිටපු ජනාධිපතිනිය නමින් සඳහන් නොකිරීමට වගබලාගෙන ඇති ශ්‍රී ලංකා යුද හමුදාවේ මාධ්‍ය අංශය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නිවේදනයක ඇය හඳුන්වා ඇත්තේ “ජාතික සංහිඳියාව සඳහා වන ආයතනයක ප්‍රධානියා” ලෙස පමණි.

රජය විසින් 2015 අගදී පිහිටුවන ලද ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාංශයේ (ONUR) ප්‍රධානත්වය උසුලන්නේ හිටපු ජනාධිපතිනියයි.

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද අගමැතිවරයාගේ යෝජනාවක් පරිදි එම කාර්යාංශය පිහිටුවා ඇත්තේ ජනාධිපතිවරයා යටතේයි.

ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාංශයේ ප්‍රධානියා ලෙසින් හිටපු ජනාධිපතිනිය උතුරේ හමුදා ප්‍රධානීන් සමග

අදත් සිදුවන අපචාර

යුද්ධයෙන් පීඩාවට පත් උතුරේ දෙමළ කාන්තාවන් වර්තමාන ආණ්ඩුවේ පාලනය යටතේත් හමුදා සෙබළුන්ගේ මෙන්ම රජයේ නිලධාරීන්ගේත් ලිංගික අතවරයට ගොදුරුවන බවට හිටපු ජනාධිපතිනිය ONUR ප්‍රධානියා ලෙසින් ශ්‍රී ලංකාවේ විදේශීය මාධ්‍යවේදීන්ගේ සංගමය හමුවේ ඉකුත් සතියේ චෝදනා කළාය.

“තවමත් ලිංගික අපචාර සිදුවෙනවා. ඉතා පහලම මට්ටම දක්වා ග්‍රාමසේවකයන් ද ඇතුළු දෙමළ නිලධාරීන් ගෙන් පවා. ලියැවිල්ලක් අත්සන් කරන්න පවා. සහතික වශයෙන්ම යුද හමුදාවේ ඉන්න අයත් කරනවා,” යනුවෙන් හිටපු ජනාධිපතිනිය පැවසුවාය.

ශ්‍රී ලංකා යුද හමුදාව 2010 සිට උතුරේ සියලු සිවිල් පරිපාලන කටයුතු වලින් ඉවත්ව ඇති නිසා “ලිංගික සූරාකෑම සහ අපචාර පිලිබඳ ප්‍රශ්නය පැන නොනගින,” බවයි යුද හමුදා මූලස්ථානය ප්‍රකාශ කරන්නේ.

එහි කියා ඇත්තේ ප්‍රේමවතී මනම්පේරි (1971), ක්‍රිෂාන්ති කුමාරස්වාමි සහ රාජනී වේලායුදන්පිල්ලේ (1995-2005) සම්බන්ධයෙන් සොල්දාදුවන්ට එරෙහිව චෝදනා නැගුනු අවස්ථාවේ යුද හමුදාව අධිකරණයට පූර්ණ සහයෝගය ලබා දුන් බවයි.

කෙසේ වෙතත්, 2005 න් පසු යුද හමුදාවට එල්ලවන ලිංගික අපචාර චෝදනා සම්බන්ධයෙන් ගන්නා ලද කිසිදු පියවරක් හමුදා නිවේදනයේ දක්වා නැත.

නීතිය හා සාමය වෙනුවෙන් ආණ්ඩුව “අවංකව කැපවී සිටින අවස්ථාවක” හිටපු ජනාධිපතිනිය කළ ප්‍රකාශය සංහිඳියා ක්‍රියාදාමය අනතුරේ හෙලනු ඇති බවට යුද හමුදාව අනතුරු අඟවයි.

රජයේ ආරක්ෂක අංශ විසින් කළ බවට චෝදනා කෙරෙන අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට එරෙහිව අන්ත සිංහල ජාතිකවාදී බලවේග යුද හමුදාව අවුස්සනු ඇති බවට ද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රී ලංකාවේ විදේශ මාධ්‍යවේදීන් හමුවේ බිය පල කොට තිබුණාය.

දැඩි ලෙස හමුදාකරණය වී ඇති උතුරේ  රජයේ ආරක්ෂක අංශ සහ සහ පොලිසිය වර්තමාන ආණ්ඩුවේ පාලනය යටතේත් ලිංගික හිංසා ඇතුළු වධබන්ධන පමුණුවන බවට මානව හිමිකම් සංවිධාන විසින් කර ඇති හෙළිදරව් කිරීම් විශ්වසනීය බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් පිළිගැනීමයි.

Related posts

Comments are closed.

Top