ස්ත්‍රී දූෂණයට චූදිත හමුදා නිලධාරි පිරිසක විස්තර එක්සත් ජාතීන් අතට

  

කාන්තාවන් අත් අඩංගුවේ රඳවාගෙන ස්ත්‍රී දුෂණ හා ලිංගික අපරාධ කළ බවට චෝදනා ලබන ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන් හය දෙනකුගේ විස්තර ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විසින් එක්සත් ජාතීන් වෙත භාර දී තිබේ.

විස්තර සහිත ලියවිල්ල සමග ලබා දුන් රහසිගත ඇමුණුමක ඡායාරූප හයක් ද ඇතුලත් වන බව දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර මුලස්ථාන කොටගත්  ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) දැනුම් දී ඇත.

මේ මස 22දා ජිනීවාහිදී ශ්‍රී ලංකාවේ රජයේ නියෝජිත පිරිසක් මුණගැසෙන කාන්තාවන්ට එරෙහි වෙනස්කම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව (CEDAW) ට එම තොරතුරු ලබා දෙමින් ITJP ය යෝජනා කර ඇත්තේ චූදිත හමුදා නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්නට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින ලෙසයි.

 ආණ්ඩුවේ වාරය

“පෙබරවාරි 22දා ජිනීවාහි රැස්වන විට CEDAW විසින් මෙම තොරතුරු ශ්‍රී ලංකාවේ රජයට භාරදී, විශ්වසනීය පරීක්ෂණයක් පවත්වන තුරු ඒ සියලු දෙනාගේ වැඩ තහනම් කරන ලෙස ඉල්ලා සිටිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,” යැයි ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පැවසුවාය.

“ආණ්ඩුව වින්දිතයන්ගේ නම් සහ ලිපින දිගටම අපෙන් ඉල්ලමින් සිටී. අපි අපරාධකරුවන් ලෙස චෝදනා ලබන අයගේ තොරතුරු CEDAW හරහා ලබා දෙන්නෙමු. යුක්තිය ඉටු කිරීමේ බරපතල උවමනාවෙන් ආණ්ඩුව පෙලෙන්නේදැයි දැන් බලමු. ආණ්ඩුව විසින් ගත යුතු සියලු පියවර අපේ වාර්තාවේ දක්වා තිබේ. CEDAW ට එහි ප්‍රගතිය අධීක්ෂණය කළ හැකිය.”

නම් තුනක්

ස්ත්‍රී දුෂක චෝදනා ලබන හමුදා නිලධාරීන් අතර මේජර්වරයකු සහ ලුතිනන් කර්නල් වරයකුද වෙයි.

“දූෂකයන් ලෙස චෝදනා එල්ලවන ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තුන් දෙනකු ඔවුන්ට ගොදුරු වූ කාන්තාවන් දුන් දිවුරුම් ප්‍රකාශ මගින් නම් කොට ඇතැ,” යි එක්සත් ජාතීන්ගේ කමිටුවට ලබා දී ඇති සවිස්තර ලියවිල්ලේ සඳහන් වෙයි.

“මින් එක් අයකු මෑතදී එක්සත් ජාතීන්ගේ සාම සාධකයකු ලෙස සේවය කර තිබේ. හතරවැනි නිලධාරියකු සෘජුවම වද දීමට සම්බන්ධ බවට චෝදනා ලබයි. පස්වැනියකු වධ බන්ධනයට අණ දුන් බවට චෝදනා ලබයි. වින්දිත කාන්තාවකට වධහිංසා කරද්දී වධකාගාරයට ඇතුල් වූ බවට හයවැන්නකු චෝදනා ලබයි.”

චුදිත හමුදා නිලධාරීන් දක්වමින් CEDAW වෙත ITJP දුන් දළ සටහනක්

ලිංගික වහල් කඳවුරු

යුද හමුදාව විසින් ලිංගික වහලියන් ලෙස කාන්තාවන් යොදා ගැනීම සඳහා  දීර්ඝ කාලයක් තිස්සේ රඳවා තබාගත් බවට චෝදනා කෙරෙන කඳවුරු පිළිබඳ විස්තර ද ලේඛන ගත කොට ඇති බව ITJP එක්සත් ජාතීන්ට පවසා තිබේ.

එම කඳවුරු පවත්වාගෙන ගිය බවට ස්ථාන හතරක් මේ වනවිට හඳුනාගෙන ඇති බව ද එම සංවිධානය පවසයි.

“වව්නියාව අසල එකක්, පුත්තලම අසල එකක්, කොළඹ ම එකක් සහ කොළඹින් පිටත එහෙත් උතුරු නැගෙනහිර නොවූ තැනක එකක්” වශයෙන් ඒ පිළිබඳව සඳහන් කර තිබේ.

ජනාධිපතිට දෝෂාරෝපණ

විමර්ශන නොකිරීමෙන්ද, වගකිවයුත්තන් වගවීමෙන් බැඳ නොතැබීමෙන්ද, දිගටම කෙරෙන කෙලෙසීම් සම්බන්ධයෙන් සාපරාධී සහායකත්වයක් දරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් රජය CEDAW හමුවේ ITJP සංවිධානයේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇත.

“වධබන්ධන පැමිණවීම සඳහා ලිංගික ප්‍රචණ්ඩතාව යොදාගැනීමේ දැනුවත් ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන ලද බවට තිබෙන විශ්වසනීය සාක්ෂි විභාග කිරීමේ වගකීම ජනාධිපති සිරිසේන සහ ඔහුගේ ආණ්ඩුව විසින් මගහැර ඇත,” යි ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සූකා පවසන්නීය.

“කෙලෙසීම් අඛණ්ඩව සිදුකිරීම සහ විමර්ශනයක් සිදුකොට වගකිවයුත්තන් ගේ වගවීම සහතික කිරීමට අසමත් වීම මගින් සිරිසේන ආණ්ඩුව අපරාධ සහායක බවට පත් වෙයි,” යනුවෙන් ඇය වැඩිදුරටත් කියා සිටී.

 

චන්ද්‍රිකාගේ චෝදනා

උතුරේ කාන්තාවන් යුද හමුදාවේ ලිංගික අතවරයට ගොදුරු වන බවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මෑතදී කළ චෝදනාව හමුදා මුලස්ථානය විසින් තරයේ ප්‍රතික්ෂේප කර තිබුනි.

අලුතින්ම ප්‍රසිද්ධියට පත් කරන ලද තම ලියැවිල්ල පදනම් වී ඇත්තේ රජයේ අත් අඩංගුවේ සිටියදී කරන ලද වධබන්ධන සහ භයංකාර ලිංගික ප්‍රහාර හෙළි කරන කාන්තාවන් 55 දෙනකුගේ සවිස්තර ප්‍රකාශ පදනම් කොටගෙන යයි ITJP පවසයි.

48 දෙනකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේත් 7 දෙනකු වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ආණ්ඩුව යටතේත් ලිංගික හිංසනයට ලක්වූවන් බවයි ලියැවිල්ලේ සඳහන් වන්නේ.

ආණ්ඩුවේ වාර්තාව 

ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා සැලසුම් සහගතව ලිංගික අපරාධ කරන බව රජය පිළිගන්නේ නැත.

කාන්තාවන්ට එරෙහි වෙනස්කම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ  කමිටුවට දී ඇති ලියවිල්ලෙන් රජය කියා ඇත්තේ 2007 සිට 2012 දක්වා පස් අවුරුදු කාලය තුල උතුරු නැගෙනහිරින් වාර්තා වී ඇත්තේ සන්නද්ධ හමුදාවේ ලිංගික ප්‍රචණ්ඩතා දහඅටක් ගැන පමණක් බවයි.

යුද සමයේ හත් දෙනකුත් ඉන් අනතුරුව 2012 දක්වා දස දෙනකුත් වශයෙන් හමුදා නිලධාරීන් ඊට සම්බන්ධ වී යයි වාර්තා වී ඇති බවයි ආණ්ඩුව පවසන්නේ.

කෙසේ වෙතත්, ඒ අපරාධ පිළිබඳව විභාග කොට කිසිදු පියවරක් ගන්නා ලද්දේ දැයි ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ වාර්තාවේ සඳහන් නොවේ.

ITJP විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට වාර්තා කර ඇති පරිදි ශ්‍රී ලංකා සන්නද්ධ සේනා සාමාජිකයන් සහ පොලිසිය විසින් 2016 තරම් මෑත කාලයකදීත් ලිංගික අපරාධ කර තිබේ.

 

Related posts

Comments are closed.

Top