ආණ්ඩුව දෙමළ නියෝජනයක් ජිනීවා නොඑවීම ගැන කණගාටුව පළවේ

ජිනීවා නුවර රැස්වෙන කාන්තාවන්ට එරෙහි වෙනස්කම් දුරුකිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ  කමිටුව (CEDAW) හමුවේ කරුණු දැක්වීමට රජය විසින් දෙමළ නියෝජිත සහභාගිත්වයක් නොතිබීම ගැන මානව හිමිකම් සංවිධාන කනස්සල්ල පල කරයි.

යහපාලන ආණ්ඩුව යටතේ එක දෙමළ අයකු හෝ එවනු ඇති වගට තමන් තුල තිබූ බලාපොරොත්තුව සුන්වුනු බවයි ජිනීවා නුවර සිට ගගන හා කතා කළ කාන්තා ක්‍රියාකාරී ජාලයේ ශ්‍රීන් සරූර් ගගන හා කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ කාන්තාව මුහුණ පා සිටින තත්වය පිළිබඳව ඇය ඇතුළු දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන CEDAW කමිටුව හමුවේ මේ වනවිට කරුණු දක්වා තිබේ.

නියෝජිත පිරිස

කමිටුව හමුවේ අද සිට කරුණු දැක්වීම සඳහා ජිනීවා ගොස් සිටින කාන්තා බහුතරයකින් සැදුම්ලත් ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩලයේ නායකත්වය දරන්නී කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රානි සේනාරත්නයි.

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ, දකුණු කොරියාවේ තානාපතිනි මනීෂා ගුණසේකර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන,  ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සමන්තා ජයසූරිය, ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ උපදේශිකා  ශෂිකා සෝමරත්න, ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ දෙවැනි ලේකම් දිලිනි ගුණසේකර, ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ දෙවැනි ලේකම් එම් එල් එම් මෆුසා, විදේශ අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂිකා රජ්මි මනතුංග සහ සහකාර පොලිස් අධිකාරිණී බිම්ශානි ජාසිං ආරච්චි නියෝජිත පිරිස වශයෙන් රජය විසින් නම් කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුම් දෙයි.

CEDAW කමිටුව හමුවේ තමන් විසින් හෙළි කරන ලද කරුණු සම්බන්ධයෙන් ශ්‍රීන් සරූර් කරන විස්තරයක් ඉක්මනින්ම ගගනින් බලාපොරොත්තු වන්න.

Related posts

Comments are closed.

Top