දරුවකුට අහිමි කළ පාසලම මානව හිමිකම් කොමිසම යළි ලබා දෙයි  

වසර දෙකයි මාස දෙකක කාලයක් පාසැල් අධ්‍යාපනය අහිමිව සිටි, 2015 වසරේදි හලාවත ආනන්ද ජාතික පාසැලේ පළමු වසරට ඇතුලත් කරනොගත් හලාවත ආනන්ද මාවතේ ම පදිංචි ෂෙෆන් ෂානිල් මුල් වතාවට එම පාසලටම ඇතුලත් කරගෙන තිබේ.

අට මසක කාලසීමාවක් තුළ ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම සිදුකළ විමර්ශන කටයුතුවල නිර්දේශ මත, ආනන්ද ජාතික පාසලේ විදුහල්පති  ජේ ඒ ධනංජය වික්‍රම හට මෙම දරුවා, 2017 පෙබරවාරි 23දා පාසලේ තුන්වැනි ශ්‍රේණියට ඇතුළත් කරගැනීමට සිදුවි ඇත.

“සුදුසුකම් සියල්ලම සපුරා තිබිය දී තමයි ආනන්ද පාසලේ හිටපු විදුහල්පති සහ හිටපු නියෝජ්‍ය විදුහල්පති මගේ  දරුවා ඉස්කෝලෙට  නොගත්තේ. අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත්කළ චක්‍රලේඛවලට එකඟ නොවී තමයි එවැනි අසාධාරණයක් දරුවට සිදුකළේ. පාසල පෙනෙන දුර සිටින මගේ දරුවා නොගෙන දුරින් වැඩි නිවෙසක සිටින දරුවකු පාසැලට ඇතුලත්කර ගත්තා,” යැයි ෂෙෆන් ෂානිල් ගේ මව වන සහිරා නිර්මලි ප්‍රකාශ කළාය.

නිවැරදි පරීක්ෂණයක්

පුරා වසර දෙකක් තුළ දුක් විඳි ආකාරයේ තරමට ම යුක්තිය ඉටු වූ බවට  ඔවුහු මහත් සතුටට පත්වී සිටියහ.

“අපිට විශාල අසාධාරණයක් සිදුවුණා, අපි දෙමාපිය දෙදෙනා විධියට ඒ අසාධාරණයට  යුක්තිය සාධාරණය ලබාගැනිම වෙනුවෙන් අපි දිගටම කටයුතු කළා. ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම ඉතාම නිවරැදිව, අපක්ෂපාතිව අපේ පැමිණිල්ල විභාග කිරීම නිසාත් එහි ප්‍රතිඵලයක් විධියට අධ්‍යාපන ඇමතිතුමා ගනු ලැබු නිවරැදි තීන්දුවත් මත තමයි  අද අපේ දරුවා ආනන්ද පාසලට ම ඇතුලත් කරගන්න ලැබුණේ,” යැයි ෂෙෆන් ෂානිල් ගේ  දෙමාපියෝ වන සහිරා නිර්මලි සහ නිලන්ත පෙරේරා පැවසුහ.

එමෙන්ම, කුඩා ෂෙෆන් ද කියා සිටියේ පාසල් යාමට ලැබීම ගැන  “අද මට හරිම සන්තෝෂයි” කියාය.

තමන් ගෙනගිය අරගලය  දේශීය හා විදේශීය මාධ්‍යවේදීන් අතලොස්සක් විසින් වාර්තා කිරීම දෙමාපියන්ගේ අගය කිරීමට ලක්විය.

2015 වසරේදි දරුවා පළමු ශ්‍රේණියට ඇතුලකර නොගැනීම තුළ ඔවුන්ටත් දරුවාටත් අත්විදින්නට සිදුවු මානසික පීඩාවත්, දරුවාට නිසි ලෙස පාසල් අධ්‍යාපනය නොලැබීමත්, ඇතැම් දේශපාලනඥයන් විසින් බොරු පොරොන්දු ලබාදීමත්, ඔවුන්ව නොමග යැවීමත්, ඇතැම් මාධ්‍ය ආයතන විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරය කිරීමත් යන කරුණු පාදක කරගනිමින් ඉදිරියේදි අධිකරණ ක්‍රියාමාර්ගයක් ගනු ලබන බව දෙමාපියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

 සටහන හා සේයා: මෙලනි මානෙල් පෙරේරා

Related posts

Comments are closed.

Top