කළුතර සත් පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් “පොලිසිය වගකිව යුතුයි” | VIDEO

කළුතරදී එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් හත් දෙනකු මියයාම සම්බන්ධ වගකීම පොලිසිය විසින් භාරගත යුතු බව බන්ධනාගාර කටයුතු පිලිබඳ අමාත්‍යවරයා පවසයි.

කළුතර සිට සිරකරුවන් ප්‍රවාහනය කරමින් සිටි බන්ධනාගාර බස්රිය දෙකකට වෙඩි තබා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනකු සහ රැඳවියන් පස්දෙනකු ඝාතනය කරන්නට හැකියාව ලැබුනේ පොලිසිය ආරක්ෂාව ලබා නොදීම නිසා බවයි අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන් චෝදනාව.

ප්‍රහාරයෙන් මියගිය ‘සමයං’ නමින් ප්‍රකට අරුණ දමිත් උදයංග ඇතුළු සිරකරුවන් පස්දෙනා  කළුතර රඳවා තිබුනේ ආරක්ෂාව සඳහා බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය පවසන්නේ.

වෙඩි පහරින් මිය ගිය පිරිස කඩුවෙල අධිකරණය වෙත ගෙන යාම සඳහා ඉල්ලා සිටි පොලිස් ආරක්ෂාව නොලැබුනු බව අමාත්‍යවරයා පවසයි.

කාර්ය මණ්ඩලයේ හිඟබව හේතු ලෙස දක්වමින් පොලිසිය ආරක්ෂාව ලබාදීමට හැකියාවක් නැති බව දැනුම් දුන් බව බන්ධනාගාර කටයුතු භාර අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

පොලිස් ආරක්ෂාව නැතිකමින් බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවල් යටතේ අධිකරණයට ගෙනයාමේදී වෙඩි පහරට ලක් වුයේ “පාතාල සාමාජිකයන්” පිරිසක් බව කියා සිටින අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාගැනීම සාමාන්‍ය පිළිවෙත බවයි.

කැබ් රියක් අත් අඩංගුවේ

වෙඩි තැබීම සඳහා බන්ධනාගාර බස් රියට මග හරස් කළ බවට සැක කෙරෙන කැබ් රථයක් අත් අඩංගුවට ගත් පොලිසිය මෙය සංවිධානාත්මක කල්ලි දෙකක් අතර ආරාවුලක් නිසා සිදුකළ සැලසුම් සහගත අපරාධයක් බව පවසයි.

පුද්ගලයන් “අටක් දහයක්” ප්‍රහාරය සඳහා පැමිණ ඇති බව මාධ්‍යවේදීන්ට පැවසූ පොලිස් ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි, සුදු පැහැති වෑන් රියකින් වෙඩික්කරුවන් පලා ගිය බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී තිබෙන බව කියා සිටියේය.

වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා හිටපු මහේස්ත්‍රාත්වරයකුගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරන ලද අතර, මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් වන්දි ඇතුළු වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන බව බන්ධනාගාර කටයුතු භාර අමාත්‍යවරයා පවසයි.

Related posts

Comments are closed.

Top