හමුදාව නීති විරෝධී ලෙස අල්ලාගත් ඉඩම් ප්‍රමාණය හෙළි කරන ලෙස ඉල්ලයි | VIDEO

රජයේ  හමුදාව නීත්‍යානුකූල නොවන ආකාරයෙන්  උතුරේ අත්පත්කරගෙන  සිටින ඉඩම් ප්‍රමාණය කොපමණදැයි හෙළි කරන ලෙස උතුරේ ක්‍රියාත්මක තරුණ සංවිධානයක් රජයෙන් ඉල්ලා සිටී.

ආරක්ෂක අංශ විසින් අත්පත් කර ගෙන සිටින උතුරේ ඉඩම් ප්‍රමාණය සම්බන්ධයෙන් රජයේ අමාත්‍යවරුන්ද පරස්පර අදහස් ඉදිරිපත් කරන බවයි මිත්‍රත්වය සහ සහයෝගිතා සංවිධානය පවසන්නේ.

උතුරු පළාතේ ක්‍රියාත්මක මිත්‍රත්වය සහ සහයෝගිතා සංවිධානයේ සාමාජික රවීන්ද්‍ර ද සිල්වා ඒ බව සඳහන් කළේ උතුරේ ජනතාවගේ ඉඩම් නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලමින් 28 අඟහරුවාදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවයක් පවත්වමිනි.

නීති විරෝධී ලෙස ඉඩම් අල්ලා ගැනීමට නම් නීත්‍යානුකූල  නොවන ආකාරයෙන් පරිපාලන ක්ෂේත්‍රයේ සහයද ඊට ලැබිය යුතු බව පෙන්වා දුන් ඔහු රජයෙන්  ඉල්ලා සිටියේ එවැනි කටයුතු සිදු කළේ කවුරුන්දැයි සොයා බලා ජනතාවට අයිති ඉඩම් ආපසු  ලබා දීමට කටයුතු කරන ලෙසයි.

ජනවාරි 08 උතුරේ ජනතාව මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිවරනයේදී  ඡන්දය ලබා දුන්නේ ජනතාව අතර විශ්වාසයක් ගොඩ නැගීමට අවස්ථාවක් උදා කරගැනීම සදහා විනා ඔහු පිළිබදව පූර්ණ විශ්වාසයක් මත නොවන බවද ඔහු අවධාරණය කළේය.

කෙසේ නමුත් ජනාධිපතිවරයා මේ වන විට එම විශ්වාසය මග හරිමින් සිටින බවක් පෙනෙන්නට ඇති බවට ඔහු චෝදනා කළේය.

සතියක් තුල විසඳුම්

විරෝධතාවය පැවති ස්ථානයට පැමිණි  අමාත්‍ය මනෝ ගනේෂන් ද උතුරු පළාතේ ඉඩම් ප්‍රශ්නය මේ වන විට උග්‍ර වී ඇති බව පිළිගත්තේය.

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් 27 සඳුදා ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවකදී කේපාපුලව් ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය සම්බන්ධයෙන් විසඳුමකට පැමිණ ඇති අතර ජනාධිපතිවරයා විසින් අදාල උපදෙස් බලධාරීන් වෙත මේ වන විටත් ලබා දී තිබෙන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා සමග සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවූ විපක්ෂ නායක ආර් සම්බන්ධන්  පවසා ඇත්තේ මාර්තු හතරවැනිදාට පෙර උතුරේ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය විසඳන වගට සහතිකයක් ලැබුනු බවයි.

මේ වන විට, පුලක්කුඩියිරුප්පු, කේපාපුලවු සහ පුදුකුඩියිරුප්පු ඉඩම් අහිමි ජනතාව තම මුල් භූමියේ අයිතිය ඉල්ලා අරගලයේ නිරතව සිටිති.

රජයේ තීන්දුව ගැන සතුට පලකරන ඔවුහු කෙසේවෙතත්, වසර ගණනාවක් තිස්සේ තමන්ට අහිමිව තිබූ ඉඩම් වල පදිංචියට යාමට හැකියාව ලැබෙන තුරු අරගලය අත් නොහරින බව ශපත කර සිටිති.

 

 

Related posts

Comments are closed.

Top