ජිනීවාහි ආණ්ඩුවට කල් දෙන ලෙස ඉල්ලන සිවිල් සමාජ පෙත්සමකට නොකියා නම් දාලා  | VIDEO

ශ්‍රී ලංකාවේ යුද අපරාධ ඇතුළු මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් සම්මත කරගත් ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට තවත් කල් දෙන ලෙස ඉල්ලමින් එක්සත් ජාතීන්ට බාරදී ඇති සන්දේශයක නම් සඳහන් බහුජන ක්‍රියාකාරීන් කිහිප දෙනකුගෙන්ම ඊට අනුමැතිය ලබාගෙන නැති බව හෙළි වී තිබේ.

සියයකට ආසන්න සංවිධාන සහ පුද්ගලයන්ගේ නමින් 2017 ජනවාරි 13 දිනැතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික රටවලට සහ මහ කොමසාරිස් කාර්යාලයට භාරදී ඇති පෙත්සම නම් කොට ඇත්තේ “ශ්‍රී ලංකාවට දිගටම සහාය දීම” යනුවෙනි.

ශ්‍රී ලංකා ආණ්ඩුව හවුල් වී 2015 දී සම්මත කරගත් “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම” යනුවෙන් වන 30/1 යෝජනාවේ පොරොන්දු සපුරා ලීම සඳහා තවත් කල් දෙන ලෙස ඉල්ලන එම ලියැවිල්ල භාර දී ඇත්තේ කොළඹ කේන්ද්‍ර කොටගත් සිවිල් සංවිධාන විසිනි.

සමාජ ක්‍රියාකාරිනී මරිසා ද සිල්වා විසින් සම්බන්ධීකරණය කරන ලදුව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා හා නීතිවේදී භවානි ෆොන්සේකා විසින් භාරදෙන ලද ලියැවිල්ල අවසානයේ මෙසේ ඉල්ලා තිබේ.

“අතිශයින් අවශ්‍ය වී තිබෙන ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාව විසින් ආරම්භ කරනු ඇතැයි බලාපොරොත්තු සහගතව ශ්‍රී ලංකාව සම්බන්ධ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ විමර්ශනයත් 30/ 1 යෝජනාවත් අපි සාදරයෙන් පිළිගත්තෙමු. ශ්‍රී ලංකාව 2015 ඇතිකරගත් බැඳීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පුරා ප්‍රගතිශීලී කොටස් දක්වන සහාය මේ මාසයේ එලි දක්වන ලද ප්‍රවිචාරණ කාර්ය සාධක බලකා (CTF) වාර්තාවෙන් තහවුරුවෙයි. එවන් සන්දර්භයක් තුළ, යෝජනාවේ කාලය දීර්ඝ කිරීම මගින් තම පොරොන්දු ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාව හා සම්බන්ධ වී සහාය ලබා දීම තීරණාත්මක වේ.”

ආණ්ඩුව ජාතිවාදීන්ට බයේ

ජිනීවා නුවර දී ගිවිසගත් කිසිදු යෝජනාවක් ක්‍රියාත්මක කර නැති රජයට තව දුරටත් කල් දිය යුතු නැති බවට දිගටම රට තුලත්, විදේශ වලදීත් රජය දෝෂ දර්ශනයට ලක් කරන උතුරේත් දකුණේත් සමාජ හා දේශපාලන ක්‍රියාධාරීන් කිහිප දෙනෙක්ම තමන්ගේ නම් එම ලියවිල්ලේ තිබීම පිළිබඳව පුදුමයට පත්වී සිටිති.

ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට කල් දෙන ලෙස එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටින සංදේශයකට තමන් කිසිසේත් අත්සන් නොකළ බව මහාචාර්ය කුමාර් ඩේවිඩ් තරයේ කියා සිටී.

“ආණ්ඩුව සිංහල ජාතිවාදීන්ට බයවෙලා. මහින්ද රාජපක්ෂලා දාන පීඩනයට බය වෙලා. ආණ්ඩුව පසුබසිනවා, සිංහල ජාතිවාදීන්ට මුහුණ දෙන්න ආණ්ඩුව ජනතාව සංවිධානය කරන්නේ නෑ,” යි මහාචාර්ය ඩේවිඩ් ගගන හා ප්‍රකාශ කළේය.

“ඒ හේතුව නිසා කල් ඉල්ලනවා නම් මම නම් කැමති නෑ.”

රජයට කල් දෙන ලෙස ඉල්ලා සිටින පෙත්සමකට තමන් කිසිසේත් අත්සන් නොකළ බව මානව හිමිකම් ක්‍රියාධර සරත් ඉද්දමල්ගොඩ පියතුමා ප්‍රකාශ කරන්නේ දුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව දැනටමත් ප්‍රමාද වී ඇති බවයි.

“දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ලබා දීම සම්බන්ධයෙන් ජනවාරි අටවැනිදාට පෙර දැක්වූ උනන්දුව දැන් නැතිව ගොස් ඇති බවක් පෙනී යන්නේ,” යැයි පියතුමෝ ගගන හා කියා සිටියහ.

රැවටිල්ලක්

ලියවිල්ලට අත්සන් කළ බව දැක්වෙන උතුරේ පියතුමන් දෙපලක්ම මහත් කම්පාවෙන් යුතුව ප්‍රකාශ කළේ තමන් ප්‍රතික්ෂේප කරන ඉල්ලීමක් රැගත් ලියවිල්ලකට සිය  නම යෙදීමෙන් කොළඹ සිවිල් සංවිධාන නියමුවන් රැවටීමක් සිදු කර ඇති බවයි.

මන්නාරමේ එමානුවෙල් සෙබමාලෙයි පියතුමා ප්‍රකාශ කළේ රජයට කිසිදු අමතර කාලයක් නොදී  ජිනීවා යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරවා ගැනීම තමන් සිටින භූමියේ ජනතාව දිගටම කරන ඉල්ලීම බවයි.

ජගත් මානව හිමිකම් සංවිධානයට දීමට යැයි ජනවාරි මුලදී සංවිධායකයන් විසින් පෙන්වන ලද ලිපියක රජය යෝජනාව ක්‍රියාත්මක කරන්නේදැයි අධීක්ෂණය කරන ලෙස එක්සත් ජාතීන්ගේ ඉල්ලා සිටි බව ජෙයබාලන් කෘස් පියතුමා ගගන හා කියා සිටියේය.

කෙසේ නමුත්, ඔහු තරයේ කියා සිටියේ එක්සත් ජාතීන් වෙත දී ඇති සංදේශයේ සඳහන් පරිදි කල් ඉල්ලීමක් තමන්ට පෙන්වන ලද කෙටුම්පතේ අඩංගු නොවූ බවයි.

අත්සන් ලබා ගැනීම පිණිස ජනවාරි 11 දා මුලින් බෙදා හැර ඇති ලිපියේ පිටපතක් ගගන වෙත ලැබී තිබේ.

යෝජනාවේ කාලය දීර්ඝ කිරීමක් සඳහා ඉල්ලීමක් එහි ඇතුලත් නොවේ.

එහි අවසානයේ සඳහන් වන්නේ “එවන් සන්දර්භයක් තුළ, තම පොරොන්දු ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාව හා සම්බන්ධ වී සහාය ලබා දීම තීරණාත්මක වේ,” යනුවෙනි.

“යෝජනාවේ කාලය දීර්ඝ කිරීම මගින්” යන්න එහි නැත.

තමන්ගේ නම ලියවිල්ලේ ඇති බව දැනගන්නට ලැබීමෙන් පසු මහාචාර්ය කුමාර් ඩේවිඩ් කළ විමසීමකදී  සංවිධායකයන් පවසා ඇත්තේ අත්වැරැද්දක් සිදුවී ඇති බවයි.

අනාගතයට පාඩම්

පෙත්සමේ නම් සඳහන් ඇතැමුන් වෙත ඊමේල් පණිවුඩයක් යවමින් සිදුවූ දේ ගැන සමාව ඉල්ලා සිටින මරිසා ද සිල්වා පවසන්නේ සංදේශය භාර දීමට පෙර අවසන් කෙටුම්පත තමන් විසින් පරීක්ෂා නොකරන ලද බවයි.

මුල් ලිපියට කරන ලද සංශෝධන වලින් ලිපියේ “කේන්ද්‍රීය ඉල්ලීමට” හානියක් වී දැයි ඔවුන්ටම විමසා තීරණයක් ගන්නා ලෙස පෙබරවාරි 28 දිනැති ඊමේල් පණිවුඩයේ සඳහන් වෙයි.

කිසිවකුත් නොමග යැවීමේ උත්සාහයක් නොතිබුනු බව මාර්තු 1 දා යවන ඊ මේල් පණිවුඩයක සඳහන් කරන  නීතිවේදිනී භවානි ෆොන්සේකා පවසා ඇත්තේ “අනාගතය සඳහා පාඩම් උගත්” බවයි.

“යෝජනාවේ කාලය දීර්ඝ කිරීම” යන සංශෝධනය අවසන් ලියවිල්ලට ඇතුල් වීම “කේන්ද්‍රීය ඉල්ලීම” හා ගැලපෙන අයුරු හෝ ඒ සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසමට දන්වා යවන ලද්දේද යන්න හෝ ගගන වෙත ලැබී ඇති එම එකදු ඊ මේල් ලිපියක හෝ සඳහන් නොවේ.

ගගන වෙත ලැබී ඇති ලියකියවිලිවලින් තහවුරු වන පරිදි ආණ්ඩුවට සහාය දෙන ලෙස ඉල්ලා සිටිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ලිපියක් යැවීම සංවිධානය කොට ඇත්තේ 2016 ජනවාරි 15 දා කොළඹ රේණුකා හෝටලයට ක්‍රියාධාරීන් කැඳවා වැඩ මුළුවක් පැවැත්වූ බ්‍රිතාන්‍ය මුලස්ථාන කොටගත් ශ්‍රී ලංකාව සම්බන්ධ ක්‍රියාකාරී සංවිධානයක් විසිනි.

එහි ප්‍රධානීන් ඇමතීමට ගන්නා ලද දුරකතන පණිවුඩ වලට පිළිතුරු ලැබුනේ නැත.

Related posts

Comments are closed.

Top