මත් ජාවාරම මැඩලීමේ කලාපීය එකඟතාවකට ජනපතිගෙන් යෝජනා

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ඉන්දියානු සාගර කලාපයේ සියලු රටවල් පොදු එකඟතාවයකට එළැඹිය යුතු බව ජනාධිපතිවරයා රාජ්‍ය නායක සමුළුවක් අමතා ප්‍රකාශ කරද්දී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පාසල් සිසුන් අත් අඩංගුවට ගෙන ඇතැයි නීතිය හා සාමය භාර අමාත්‍යවරයා කොළඹදී ප්‍රකාශ කර තිබේ.

 

ඉන්දියානු සාගර කලාපයේ රටවල් මුහුණදී සිටින බරපතළ අභියෝගයක් වන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන අවධාරණය කළේ  7පෙරවරුවේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ඇරඹුණු ඉන්දියානු සාගර කලාපීය රටවල රාජ්‍ය නායකයන්ගේ සමුළුව අමතමින් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

 

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බොහෝ විට සාගර නාවික මාර්ග උපයෝගී කර ගන්නා අතර එක් එක් රටවල ආධිපත්‍යයෙන් පිටත ජාත්‍යන්තර සාගර කලාපයේ දී මෙම ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා නිසි ක‍්‍රමවේදයක් නොමැතිකම බරපතළ ගැටලුවක් බව ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

 

ඒ සඳහා විසඳුම් සෙවීමේ නිසි ක‍්‍රමවේදයක් සැකසීමට ඉන්දියානු සාගර කලාපීය රටවල සංවිධානයේ කඩිනම් අවධානය යොමු විය යුතු බවට ද ඔහු  යෝජනා කර ඇත.

 

අද නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම කර්මාන්තයක් තරමටම පැතිර තිබීම පිළිබඳ කලාපයේ සියලු රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු විය යුතු බව ප‍්‍රකාශ කර ඇති  ජනාධිපතිතුමා කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට විවිධ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වූ නමුත් එයින් සෑහීමකට පත්විය හැකි තරම් ප‍්‍රතිඵල ලැබී නොමැති බව ද පෙන්වා දී තිබේ.

 

යාබද රටවලට ඉන්දියානු සාගර කලාපය  ආර්ථික වශයෙන් ප‍්‍රතිලාභ ගෙන දෙන නමුත් නෞකා ගමනා ගමනයේදී එල්ලවන ත‍්‍රස්තවාදී කි‍්‍රයා, මංකොල්ලකෑම් වැනි අපරාධ පිළිබඳ කලාපයේ සියලු රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමුවීමේ වැදගත්කම ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  පැහැදිලි කර ඇත.

 

ඉන්දියානු සාගර කලාපයේ සම්පත් මාවතේ වැදගත් ස්ථානයක පිහිටි ශී‍්‍ර ලංකාවේ පිහිටීම රටේ වෙළෙඳ, සංචාරක, ප‍්‍රවාහන ආදි විවිධ ක්ෂේත‍්‍රවල උපරිම ප‍්‍රයෝජන ලබාගත හැකි පරිදි භාවිතා කිරීම වත්මන් රජයේ අරමුණ බව ද ජනාධිපතිතුමා පවසයි.

 

ඉන්දියානු සාගර කලාපය සීඝ‍්‍රයෙන් වර්ධනය වන කලාපයක් වන අතර එහිදී මතුවන ප‍්‍රශ්න සහ අභියෝගවලට මුහුණදිය යුතු ආකාරය පිළිබඳ කඩිනම් සංවාදයක් ඇරඹීමට මෙම සමුළුව ඉතා උචිත ස්ථානයක් බව ද ජනාධිපතිතුමා සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩි දුරටත් සදහන් කරයි.

 

එමෙන්ම සමුළුවේ මීළඟ සභාපතිත්වය හිමිවන දකුණු අපි‍්‍රකාව වෙත ජනාධිපතිතුමා සිය සුබපැතුම් එක් කර තිබේ.

මේ අතර  නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා පවසා ඇත්තේ මත්ද්‍රව්‍ය වෙළඳාම පාසල් තුළ සිදුවන බව වාර්තා වී නොමැති නමුත් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පාසල් සිසුන් අත් අඩංගුවට ගෙන ඇති බවයි.

 

මත්ද්‍රව්‍ය භාවිතයේ දුර්විපාක පිළිබඳව පාසල් දූ දරුවන් දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීම හා අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය එක්ව ක්‍රියාත්මක කරන ළමා සුරක්ෂිතතා වැඩසටහන් සාර්ථකව පවත්වන බවයි අමාත්‍ය සාගල රත්නායක පවසන්නේ.‍

 

තවද පාසල් ළමුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම පිළිබඳව අධ්‍යයනය කිරීම හා ඉදිරි සැලසුම් සකස් කිරීම සිදු කරමින් පවතින බව ඔහු සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ  විසින් 7 අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී  යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

“එහෙත් පාසල්වලින් ඉවත් වූ පසු මත්ද්‍රව්‍යවලට යොමු වන බවට වාර්තා වෙනවා. විශේෂයෙන් නගර හා සංචාරක ප්‍රදේශවල. ඒ පිළිබඳව සොයාබැලීමක් සිදු කරනවා. එම වැඩපිළිවෙල ප්‍රජා පොලිසිය හරහා ආරම්භ කර තිබෙනවා. මත්ද්‍රව්‍ය නිවාරණ ඒකක තවදුරටත් ශක්තිමත් කරන,” ඔහු පවසා තිබේ.බව

 

ගංජා, අබිං, මත්පෙති, ඖෂධ සිරප්, මදනමෝදක හා ඒ හා සමාන මත්ද්‍රව්‍ය සමාජය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වී නැතැයි ද පවසා ඇති අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ අනෙකුත් රටවල් සමඟ සන්සන්දනය කිරීමේ දී ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය පාලනය කර ඇති රටක් ලෙස ජාතික හා අන්තර් ජාතික වශයෙන් පිළිගෙන තිබෙනෙ බවයි.

Related posts

Comments are closed.

Top