අඩසියවසකට පසු රත්මලානින් ජාත්‍යන්තර ගුවන් ගමන්

වසර පනහකට  පසු රත්මලාන ගුවන් තොටුපළින් ජාත්‍යන්තර වෙළෙඳ ගුවන් සේවා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

 

මෙම ගුවන් සේවා මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ මාලදිවයින් ජාත්‍යන්තර ගුවන් සමාගමේ DH8 වර්ගයේ ගුවන් යානා 03ක් දිනකට මාලේ නුවර සිට රත්මලාන දක්වාත්, රත්මලානේ සිට මාලේ නුවර දක්වාත් ගමන් වාර 06ක් සිදු කිරීමට නියමිත ව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

දෙරටේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතුව ආරම්භ කරනු ලබන මෙම ගුවන් සේවා මෙහෙයුම් කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් රත්මලාන ගුවන් තොටුපළ පරිශ්‍රයේ පසුගියදා පැවැත්වා ඇත.

 

ඒ අනුව මෙම ගුවන් සේවා කටයුතු පිළිබඳ ව ඉදිරි දිනකදී දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද නියමිතය.

 

පසුගියදා මෙරටට පැමිණි මාලදිවයින් සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය මූසා සමීර් සහ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  අතර මෙම ගුවන් සේවා ආරම්භ කිරීම පිළිබඳ ව මුලික සාකච්ඡා ව රත්මලාන ගුවන් තොටුපළ පර්යන්තයේදී පැවැත්වා ඇත.

 

රත්මලාන ගුවන් තොටුපළ ධාවන පථයේ දැනට පවතින තත්ත්වය අනුව ආසන 60කින් යුතු DH8 ගුවන්යානා මෙහෙයුම් සිදු කළ හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන අතර ගුවන් මගීන්ගේ පහසුව සඳහා විශේෂිත පහසුකම් සහිත පර්යන්තයක් වෙන් කිරීමට හැකි බවත් මෙම සාකච්ඡාවේදී අනාවරණය වු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසන්නේ.

 

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපතිනය වන සහියා සරීර්, මාලදිවයින් ජාත්‍යන්තර ගුවන් සමාගමේ කළමණාකරණ අධ්‍යක්ෂ අබ්දුල් හරීස්, ගුවන් මෙහෙයුම් ප්‍රධානි අහමඩ් ඊබ්‍රහිම්, ගුවන් තොටුපළ සමාගමේ සභාපති සමන් එදිරිවීර සහ විධායක අධ්‍යක්ෂ යොහාන් ජයරත්න සහභාගි වී ඇත.

 

දෙරටේ මිත්‍රත්වය තහවුරු කරමින් අමාත්‍යවරුන් විසින් තිළිණ හුවමාරු කර ගැනීමක්ද මෙහිදී සිදුවී තිබේ.

Related posts

Comments are closed.

Top