සෙබළ පවුල් වලට ලැබෙන සහන උතුරේ යුද පීඩිත කාන්තාවට නෑ: චන්ද්‍රිකා | VIDEO

යුද්ධයෙන් දිවි හානිවූ රජයේ හමුදා සොල්දාදුවන්ට ලැබෙන සහන යුද්ධයෙන් තම ඥාතීන් අහිමිවූ උතුරු නැගෙනහිර කාන්තාවන්ට  ලැබී නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

 

ජාත්‍යන්තර කාන්තා දින නිමිත්තෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ විසින් “ඇගේ සවිය පක්ෂයට සහ රටට” යන මැයෙන් කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ 9 බ්‍රස්පතින්දා පෙරවරුවේ සංවිධානය කොට තිබූ උත්සවයක් අමතමින් හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළේ මියගිය සොල්දාදුවන්ගේ භාර්යාවන්ට තම සැමියාගේ වැටුප හෝ ලැබෙන බවයි.

කෙසේවෙතත්, සොල්දාදුවන්ගේ පවුල් වලට වෙනම ප්‍රශ්න තිබෙන බව ද ඇය ප්‍රකාශ කළාය.

 

“කවුරු හරි මේවට නායකත්වය දීලා විසඳන්න බලන්න ඕනේ,” යි අවධාරණය කළ ඇය රජයේ කාන්තා කාර්යාංශය ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු කොට නැති බව කියා සිටියේ ජනාධිපතිවරයා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ උත්සව සභාව අමතමිනි.

අනාගත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගොඩනැගීම වෙනුවෙන් කාන්තා සහාය අත්‍යාවශ්‍ය බවයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේ.

 

“හෙට දවස වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තීන් ගොඩනගමින් අනාගත ආණ්ඩුවක් මේ රටේ බිහිකිරීම සදහා කාන්තාවන්ගේ සහයෝගය සහ ශක්තිය තුළ පිරිසිදු දේශපාල පක්ෂයක් ගොඩනැගීම ඉතා අවශ්‍ය වෙනවා. එය මේ යුගයේ අවශ්‍යතාවයක්,” යයි ජනාධිපතිවරයා කියා සිටියේය.

 

ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණේ නිල ෆේස්බුක් පිටුව විවෘත කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමණේ ජ්‍යෙෂ්ඨතම සමාජිකාවක් වන සෝමා පෙරේරා වෙනුවෙන් සමරු තිළිණයක් ඇයගේ මිණිපිරියට පිරි නමා තිබේ.

 

 

Related posts

Comments are closed.

Top