“සිරකරුවෝ අමනුෂ්‍යයෝය” යනුවෙන් හිරගෙදර පුවරුව වෙනස් කරන්න

රැඳවියන්ට  දක්වන සැලකිල්ල මනුෂ්‍යයන්ට නොගැලපෙන හෙයින් බන්ධනාගාර ඉදිරිපිට තාප්ප සහ බිත්ති වල ඇති පාඨය “සිරකරුවෝ අමනුෂ්‍යයෝය” යනුවෙන් වෙනස් කරන ලෙස සිරගතකොට සිටින්නන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන සංවිධානයක් ඉල්ලා සිටියි.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර වල තත්වය ගැන මහත් කම්පාව පළකරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම විසින්ද දක්වා ඇති තොරතුරු තහවුරු කරමින්  බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසන්නේ මුලික මිනිස් අයිතිවාසිකම් පවා සිරගෙවල් තුල ලබාදී නැති බවයි.

බන්ධනාගාර තුල පුද්ගලයන් රඳවා ඇත්තේ කෘර, අමානුෂික සහ අවමාන සහගත ලෙසින් බවයි ජනවාරියේ වාර්තාවක් නිකුත් කරන වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව (UNCAT) පවසා තිබුනේ.

සිරගෙවල ඉදිරිපිට පුවරුවල ලියා ඇත්තේ “සිරකරුවෝ මනුෂ්‍යයෝය” යනුවෙනි.

රෝගීන් මියයනවා

සිරකරුවන් මනුෂ්‍යයන් බව පිළිගන්නේ නම් මනුෂ්‍යයන්ට අවශ්‍ය  මූලික පහසුකම් හෝ ඔවුන්ට  ලබා දෙන ලෙස රජයට බලකරන උද්ඝෝෂණයක් 14 අඟහරුවාදා කොළඹදී දියත් කිරීමට බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සැලසුම් යොදා ඇත.

බන්ධනාගාර තුල සිරකුටි, ආහාර සහ සනීපාරක්ෂාව මෙන්ම වෛද්‍ය පහසුකම්ද හිඟ බව පෙන්වාදෙන එම කමිටුව ප්‍රකාශ කරන්නේ එය බන්ධනාගාර ආඥාපනත අනුව සිරකරුවන්ගේ අයිතිවාසිකම් කඩ කිරීමක් බවයි.

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යාමට අවශ්‍ය එම මූලික පහසුකම් නැතිකමින් රැඳවියන් දෛනිකව රෝගී වීම සාමාන්‍ය සිද්ධියක් බව එම කමිටුව ප්‍රකාශ කරයි.

වැලිකඩ බන්ධනාගාරයේ අත්දැකීම් ආශ්‍රිතව හෙළිදරව්වක් කරන කමිටුව පවසන්නේ හදිසි අවස්ථාවකදී රෝගීන්ට නිසි ප්‍රතිකාර ලබා දීමේ පමාව නිසා බොහෝ රෝගීන් මියයන බවයි.

“බන්ධනාගාර රෝහල පිහිටා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයෙන් පිටත වන අතර හදිසි රෝගී තත්ත්වයකදි සියලු නෛතික විධි විධාන අනුගමනය කර රෝහලට රැගෙන යන විට පැයකට ආසන්න කාලයක් ගත වන අතර ඒ නිසා බෝහෝ රෝගින් මිය යයි,” යනුවෙන් බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සකස් කළ ලියවිල්ලක සඳහන් වෙයි.

රෝගී සිරකරුවන් කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමට අධිකරණය විසින් දෙනු ලබන නියෝගද බන්ධනාගාර බලධාරීන් විසින් ඇතැම් අවස්ථා වලදී නොතකා හරිනු ලබන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසා තිබේ.

නීතිපති ජයන්ත ජයසුරිය සහ ජිනීවා තානාපති රවිනාථ ආර්යසිංහ UNCAT කමිටුව හමුවේ

පමණට වැඩි සෙනග

පරිපාලන කටයුතු සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් සහ බන්ධනාගාර රෝහල් බලධාරීන් අතර ගැටුම් සිරකරුවන්ගේ යහපැවැත්මට හානිකර ලෙස බලපා ඇති බවයි  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දුන් වාර්තාවක සඳහන් වන්නේ.

එම කොමිසමත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විවිධ මානව හිමිකම් සංවිධානත් විසින් තදින්  අවධාරණය කර ඇත්තේ සිරගෙවල තිබෙන ඉඩකඩට නොසෑහෙන තරමින් සිරකරුවන් ගාල් කර තිබෙන බවයි.

වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුව වවුනියාව බන්ධනාගාරය උදාහරණයට ගෙන සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ එහි රැඳවිය හැකි සංඛ්‍යාව මෙන් 200 ගුණයක් සිරකොට තබා ඇති බවයි.

සිරගෙවල සිටින ජනකාය එහි ඇති ඉඩ ප්‍රමාණයට නොසෑහෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ පිළිගෙන තිබෙන රජය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව මේ වසරේ අඟුණකොළපැලැස්සේ ඉදිකෙරෙන බන්ධනාගාර සංකීර්ණයකින් ඊට විසඳුම් ලැබෙනු ඇති බව කියා තිබේ.

ප්‍රජා සේවා සඳහා වරදකරුවන් යෙදවීම මගින්ද බන්ධනාගාර තදබදය මගහරවා ගැනීමට රජය අපේක්ෂා කරයි.

අධිකරණය විසින් පනවනු ලබන සිරදඬුවම් වලට එරෙහිව අභියාචනා කිරීම සඳහා බොහෝ දෙනකුට  මුදල් නොමැති වීම බන්ධනාගාර සිරකරුවන් පිරී ඉතිරී යාමට ප්‍රධාන හේතුවක් බව බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.

දඩ ගෙවීමේ නොහැකියාව නිසා දෙදහසක් පමණ දෙනා සිරගෙවල කල් ගත කරන බව පවසන ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ගතහැකි පියවර සලකා බලනු පිණිස විශේෂ කාර්ය සාධක බලකායක් පත් කර තිබෙන බව ජනවාරියේදී වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවට පවසා තිබේ.

Related posts

Comments are closed.

Top