ස්වර්ණ පුස්තක මුදල් මලු බරවෙයි

 

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන 2017 ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානයේදී ජයග්‍රාහී කෘතිය සඳහා මෙතෙක් ලබා දුන් රුපියල් ලක්ෂ පහක මුදලවෙනුවට සම්මානය සමග රුපියල් හත් ලක්ෂ පනස් දහසක තෑගි මුදලක්ද පිරිනැමීමට සංවිධායකයන් තීරණය කර ඇත.

සම්මානය සඳහා කෙටි ලැයිස්තු ගත කෙරෙන නවකතා පහ වෙනුවෙන් මෙතෙක් පිරිනැමුණේ රුපියල් පනස් දහසක මුදලක් වූ අතර මෙවර සිට එය රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමටද සංවිධායකයන් කටයුතු යොදා ඇත.

නවකතාව සදහා පමණක් මෙතෙක් පැවැති ‍’ස්වර්ණ පුස්තක’ සම්මාන ප්‍රදානෝත්සවයට සමගාමීව   මෙම   වසරේ සිට හොඳම කාව්‍ය කෘතිය සහ හොඳම කෙටිකතා කෘතියටද සම්මාන සහ මුදල් ත්‍යාග පිරිනැමීමට ශ්‍රී ලංකා පොත් ප්‍රදර්ශකයන්ගේ සංගමය තීරණය කොට ඇත. ඔවුන් එම සම්මාන ද්වය නම් කර ඇත්තේ ‘රජත පුස්තක සම්මාන’ යනුවෙනි.

රජත සම්මාන

කෙටිකතා සහ කාව්‍ය කෘති තුන බැගින් ‘රජත සම්මාන’ කෙටි ලැයිස්තුවට ඇතුළත් වන අතර ඒ සියලු කෘති  සඳහා රුපියල් පනස් දහස බැගින් පිරිනමනු අතර හොදම කෙටිකතා කෘතිය ලෙස සම්මානයට පාත්‍රවන රජත පුස්තක සම්මාන ලාභි කාව්‍ය සහ කෙටිකතා කෘති වෙනුවෙන්  රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් මුදල් ත්‍යාගයන් හිමිවනු ඇත.

මෙවර ස්වර්ණ පුස්තක සම්මානය සඳහා 2016 වසරේ මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්වූ  නවකතා 96ක් ද, රජත පුස්තක සම්මාන සඳහා කාව්‍ය ග්‍රන්ථ 67ක් සහ කෙටිකතා 47ක් ඉදිරිපත් වී තිබේ.

ස්වර්ණ පුස්තක සම්මාන ප්‍රදානයේ කෘති ඇගයීම සුපුරුදු පරිදි ම සිදුවන අතර පාදක මණ්ඩලය වෙත මෙවර ලබා දුන් කෘති 96 අතරින් කෘති 12ක් හෝ 15ක් තෝරා දීමට නියමිතය. එම කෘති 15 අතුරින් කෘති පහක් තෝරා දීම පැවරෙන්නේ මධ්‍යය මණ්ඩලයට යි.

මධ්‍යය මණ්ඩලයෙන් තෝරා දෙන කෘති පහ අතුරින් ස්වර්ණ පුස්තකය තෝරා දීමේ වගකීම පැවරෙන්නේ උත්තරිතර මණ්ඩලයට ය.

ස්වර්ණ පුස්තක විනිශ්චයේ මූලික සමීක්ෂණ සිදුකෙරෙන පාදක මණ්ඩලය සඳහා මෙවර 14 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සංවිධායක මණ්ඩලය විසින් තෝරා ගනු ලැබ ඇත. කුලරත්න ආරියවංශ, සුලෝචන වික්‍රමසිංහ, ජයසිරි අලවත්ත, එච්. ඩී. එස්. මල්කාන්ති, නාලන් මෙන්ඩිස්, කුල ශ්‍රී කාරියවසම්, ශ්‍රීමතී චන්ද්‍රලතා මුණසිංහ, ප්‍රගීතිකා ජයසේකර, අශෝකා තිලකරත්න, සුමුදු චතුරානි ජයවර්ධන, රෝහිත වනිගසේකර, රෝහණ වෙත්තසිංහ සහ සමන් නන්දලාල් මෙම කණ්ඩායම ලෙස කටයුතු කරයි.

ක්‍රමවේදය

පාදක මණ්ඩලය විසින් තෝරා ගැනෙන කෘති 12 සහ 15 අතර දිගු ලැයිස්තුව  මධ්‍ය මණ්ඩලය වෙත බාර දෙනු ලැබෙයි.  මධ්‍යය මණ්ඩලය ලෙස කටයුතු කරන්නේ විමලනාත් වීරරත්න, පුංචිබණ්ඩා ගල්බ, කෞෂල්‍යා ප්‍රනාන්දු, විජිත වෙලගෙදර සහ  බෙනට් රත්නායකයි. අවසානයේ කෙටි ලැයිස්තුගතවන කෘති 5 අතරින් සුවර්ණ පුස්ථකය තෝරා ගැනෙන උත්තරීතර මණ්ඩලය ලෙස ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර, මහාචාර්ය හර්ෂණ රඹුක්වැල්ල, තිලකරත්න කුරුවිට බණ්ඩාර, ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි සහ ආචාර්ය ටියුඩර් වීරසිංහ තෝරා පත් කරගෙන ඇත.

කෙටිකතා සහ කවි

රජත පුස්තක සඳහා වන කෙටිකතා කෘති විනිශ්චය  මඬුල්ල ලෙස ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය නිවේදනය කර ඇත්තේ  මහාචාර්ය සෝරත්න බාලසූරිය, විකුම් ජිතේන්ද්‍ර, හේමන්ත අමරසිරි, ජයසිරි අලවත්ත, විමලනාත් වීරරත්න, ඒ. ඩී. රංජිත් කුමාර, මිහිර අරවින්ද, නිමල් ඒකනායක, නීල් විජයරත්න සහ එච්. ඩී. එස්. මල්කාන්ති යන සාහිත්‍යකරුවන් සහ විචාරකයන් ය.

කාව්‍ය කෘති ඇගයීම සඳහා පුෂ්පා ඉලංගංතිලක, කුලරත්න ආරියවංශ,  ලාල් හෑගොඩ, ගීතනාත් කුඩලිගම, කුසුම්සිරි විජේවර්ධන, ශාන්ත කුමාර විතාන, පද්මිණි මාතරගේ සහ රවි සිරිවර්ධන තෝරා පත්කරගෙන ඇත.

මෙවර ‘ස්වර්ණ පුස්තක’ සම්මාන ප්‍රදානෝත්සවය  සැප්තැම්බර් මස 9 වැනිදා සුපුරුදු පරිදි කොළඹදී පැවැත්වීමට නියමිත ය.  ‘රජත පුස්තක’ සම්මාන උළෙල ජුනි මස අවසන් සතියේ මහනුවරදී පවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි.

Related posts

Comments are closed.

Top