ගෝඨාභය අණ දුන්  “ඝාතක කල්ලියක්” ගැන CID යෙන් උසාවියට තොරතුරු

මාධ්‍යවේදීන් සහ ආණ්ඩු විරෝධීන් දඩයම් කිරීම සඳහා මෙහෙයවන ලද රහසිගත කල්ලියකට හිටපු ජනපති සොයුරු හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් අණදෙන ලද බව හෙළි කෙරෙන තොරතුරු අද අධිකරණය හමුවේ ප්‍රකාශයට පත් කරන ලදී.

 

සන්ඩේ ලීඩර් ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග හත් වසරකට ඉහතදී මහමග ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක කෙරෙන රහසිගත ඝාතක කල්ලිය ජාතික බුද්ධි අංශ ප්‍රධානියා යටතේ ආරක්ෂක ලේකම්වරයා විසින් මෙහෙයවන ලද බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත්තේ.

 

“හිටපු හමුදාපතිවරයා විසින් දී ඇති සාක්ෂියෙන් පෙනී යන්නේ ඔහුගේ පාලනයෙන් තොරව ගෝඨාභය රාජපක්ෂ විසින් එවක ජාතික බුද්ධි අංශ ප්‍රධානී කපිල හෙන්දවිතාරණ යටතේ විශේෂ රහසිගත ඒකකයක් පවත්වාගෙන යන ලද බවයි,” යනුවෙන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ CID වාර්තාවක සඳහන් වෙයි.

 

හමුදාවේ නිල අණදීමේ ධුරාවලියෙන් බාහිරව ක්‍රියාත්මක වුනු එම කණ්ඩායම යොදාගන්නා ලද්දේ මාධ්‍යවේදීන් සහ වෙනත් ආණ්ඩු විරෝධී  මත දැරූවන් හට පහර දීම සඳහා බව එය වැඩිදුරටත් කියා සිටී.

 

කපිල හෙන්දවිතාරණ

 

ගෝඨාභය රාජපක්ෂ විසින් විශ්‍රාමික ඔත්තු සේවා ප්‍රධානී මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණද හවුල් කරගෙන කොළඹ ආරක්ෂාව වෙනුවෙන් යැයි රහසිගත කල්ලියක් සමගින් පවත්වන ලද සාකච්ඡා සදහා තමන් නොකැඳවූ බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා පවසා තිබුනි.

 

ඔත්තු සේවා සාමාජිකයන් ඇතුළු හමුදා නිලධාරීන් ලසන්ත ඝාතනය සම්බන්ධ චෝදනාවට අත් අඩංගුවට ගෙන ඇප පිට මුදා හැර සිටින අතර ගෙල වැලලාගෙන මියගිය හිටපු බුද්ධි අංශ නිලධාරියකු අසල තිබී තමන් එම ඝාතනය සිදු කළ බව දැක්වෙන ලිපියක් සොයාගෙන තිබුනි.

 

එම ලිපිය සැක සහිත බව පවසන පොලිසිය මියගිය සාජන් මේජර් ඉලන්දාරිගේ එදිරිසිංහ ජයමාන්නගේ මරණය ඝාතනයක් සේ සලකා පරීක්ෂණ පවත්වයි.

 

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව එල්ලවන චෝදනා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Related posts

Comments are closed.

Top