රතුපස්වල ඝාතන ගැන සැකපිට හමුදාවේ තුනක් රිමාන්ඩ්  

පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණයේ යෙදුණු රතුපස්වල ජනතාවට වෙඩි තබා තිදෙනකු මරා දැමීමත් තවත් පිරිසකට  බරපතල තුවාල සිදු කිරීමත් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදාවේ තිදෙනෙක් ලබන මස තුන් වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 24 සිකුරාදා දිනයේ  අත්අඩංගුවට ගත්  යුද හමුදාවේ මාණ්ඩලික සැරයන්වරයකු සහ කෝප්‍රල්වරුන් දෙදෙනකු වන  ඩී.ඒ සිරිසේන, ජේ.එම් තිලකරත්න සහ ලලිත් ග්‍රේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත්තේ ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් වසන්තා ගුණසේකර විසිනි.

 

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න  සදහන් කරන්නේ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමට අනුව එහි පෙනී සිටි අදාළ නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.

 

යුද හමුදාව විසින් 2013 අගෝස්තු පළමු දා වෙඩිතබා රවිශාන් පෙරේරා, අකිල දිනේෂ් සහ නිලන්ත පුෂ්පකුමාර ඝාතනය කොට තවත් 37කට තුවාල සිදු කිරීමේ වරදට හමුදා නිලධාරීන් අත්අඩංගුවට පත් පළමු අවස්ථාව මෙයයි

 

වතුර ඉල්ලූ පිරිසට වෙඩි තැබීම සම්බන්ධයෙන් යුද හමුදාව වගකිව යුතු බවට සදහන් කරමින් මානව හිමිකම් කොමිසම වාර්තාවක් නිකුත් කර ඇති අතර ඊට අණ දීම සඳහා බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනට නියෝග කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවට වෘත්තීය සමිති නායකයන් ඇතුළු ක්‍රියාධාරීන් චෝදනා නගා තිබේ.

පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ වැලිවේරිය රතුපස්වල ගම්වාසීන්ට යුද හමුදාවෙන් වෙඩි තැබීම සැලසුම් සහගතව ක්‍රියාත්මක වුවක් බව ඒ පිලිබඳ සිංහලෙන් පල කෙරුනු මුල්ම ගවේෂණාත්මක කෘතිය ‘‘ජන අරගලයක දිය සලකුණ රතුපස්වල‘‘  රචනා කළ  මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මීට ඉහතදී  ගගනට ප්‍රකාශ කර තිබුණි.

Related posts

Comments are closed.

Top