දුටුගැමුණු සොයුරියක් ගැන මාතරින් හෙළි වේ

කාවන්තිස්ස මහ රජුගේ දියණියක් මෙන්ම  දුටුගැමුණු රජුගේ සොහොයුරියක් ගැන කියැවෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි මාතර තාරකා කොටුවෙන් හමු වී තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

 

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රුහුණේ සිදු කළ ගවේෂණ කටයුතුවල දී ඉතා දුර්ලභ අභිලේඛනයක තිබී ඒ තොරතුරු හමු වී ඇත්තේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හා ජර්මනියේ කාවා ආයතනය එක්ව වසර කිහිපයක් පුරා සිදුකරන ලද තිස්සමහාරාමය සර්වෝදය වත්ත කැණීම් ව්‍යාපෘතිය මඟිනුයි.

 

රුහුණේ ඉතිහාසය හා සම්බන්ධ වැදගත් පුරා විද්‍යාත්මක සාක්ෂි රැසක් මේ ව්‍යාපෘතිය යටතේ සොයාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

මෙම අතිශයින් වැදගත් අභිලේඛනය හමු වී ඇත්තේ,  මාතර තාරකා කොටුවේ පුරා විද්‍යා කෞතුකාගාරයේ  පැවති පුරා වස්තු අතරිනුයි.

 

ඉපැරණි පාත්‍රයක බඳ කොටසක් ලෙස හඳුනාගෙන ඇති මෙම පුරාවස්තුවෙහි අය තිෂ  හ ඣිත අ යනුවෙන් අභිලේඛනයක් පවතී.

 

අයතිෂ යන්න කාවන්තිස්ස රජතුමා පිළිබඳ හැඳින්වීම පිණිස යොදාගෙන ඇති බව රුහුණෙන් හමුවී ඇති පූර්ව බ්‍රාහ්මීය ශිලාලේඛන රැසකින් ම තහවුරු වන බවත් ඣිත යන්න දුව යන අදහස මතුකරන බවත් මහාචාර්ය සිරිමල් රණවැල්ලගේ අදහසයි.

 

ඒ අනුව තහවුරු වන්නේ, අයතිෂ හ ඣිත යනු‍ කාවන්තිස්ස රජුගේ දියණියක් ගැන මෙන් ම දුටුගැමුණු රජුගේ සොහොයුරියක් ගැන කියවෙන්නක් බවයි.

 

දීප වංශයේ 18 වැනි පරිච්ඡේදයෙහි කාවන්තිස්ස රජුගේ දියණියන් සම්බන්ධව සටහනක් පවතින අතර, ඔවුන් පසුකාලීනව සසුන්ගත වූ බවද සඳහන් වන බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

සාහිත්‍ය මූලාශ්‍රයක සටහන් කරුණක් අභිලේඛන මඟින් තහවුරු වීම දුර්ලභ අවස්ථාවක් වන අතර, මහාවංශයේ පවා කිසිදු සඳහනක් නොමැති කාවන්තිස්ස රජුගේ දියණියන් සම්බන්ධ තොරතුරු මේ හරහා අනාවරණය කරගැනීමට හැකිවීම සුවිශේෂ කරුණක් බව ද පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටී.

Related posts

Comments are closed.

Top