මනෝ ගනේෂන් ගෙන් එක්සත් ජාතීන්ට අභියෝගයක් | VIDEO

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම විදේශ විනිසුරුවන් ඇතුලත් යාන්ත්‍රණකින් කළ යුතු බවට එක්සත් ජාතීන් විසින් රජය සමග හවුලේ සම්මත කර ඇති යෝජනාව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යවරයා විසින් අභියෝගයට ලක් කර තිබේ,

ජිනීවා හිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින්  ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය සතියේ සම්මත කරගත් යෝජනාවෙන් ශ්‍රී ලංකාවේ වගවීම සහ සංහිඳියාව සම්බන්ධයෙන් 2015 ඔක්තෝබරයේ එකඟවූ කරුණු ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට කාල දිගුවක් දෙන ලදී.

ශ්‍රී ලාංකික අනන්‍යතාව සම්බන්ධයෙන් රුවන්වැල්ලේ පැවති වැඩ සටහනක් අතරතුර ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු දෙමින් එක්සත් ජාතීන්ගේ යෝජනාව “නිර්දේශයක් පමණක්” ලෙසින් හැඳින්වූ මනෝ ගනේෂන් අමාත්‍යවරයා දැඩිව කියා සිටියේ එය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවසාන තීරණය රැඳී පවතින්නේ රජය අත බවයි.

“තීරණය ගන්නේ අපි”

“ඕනේ කෙනෙකුට නිර්දේශ කරන්න පුළුවන් තීරණය කරන්නේ අපි,” යි  අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. “ජිනීවා යෝජනාව ඇවිල්ලා නිර්දේශ පමණයි, නියෝග නෙවෙයි. එහෙම කාටවත් නියෝග දෙන්න බෑ. අපේ රට ගැන අපි තමයි තීරණය කරන්නේ.”

ශ්‍රී ලංකාවේ සම්මත කරගන්නට වීරිය කරන අලුත් ව්‍යවස්ථාවෙන් රට දෙකඩ වී, උතුරු නැගෙනහිර ඒකාබද්ධ කළ පෙඩරල් පාලනයක් ඇතිවී බුදුදහැමට ඇති ප්‍රමුඛස්ථානය නැතිවන බවට  මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රමුඛ සිංහල ජාතිකවාදී බලවේග ගෙනයන ප්‍රචාර අසත්‍ය බවට අමාත්‍යවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

“අලුත් ව්‍යවස්ථාවෙන් උතුරු නැගෙනහිර ඒකාබද්ධ වෙන්නේ නෑ,” යි ඔහු සහතික විය. “බුදු දහමට මේ ව්‍යවස්ථාවෙන් තියෙන අවස්ථාව අහිමි වෙන්නෙත් නෑ. ඒ ආකාරයෙන් පවතිනවා ඒක. නැත්නම් අපි කියනවා ඒක වැඩි දියුණු කරන්න කියලා.”

රට කඩන ව්‍යවස්ථාවක් අවශ්‍ය වී ඇත්තේ එම ප්‍රචාරය ගෙනයන බලවේග වලට බවට මනෝ ගනේෂන් අමාත්‍යවරයා චෝදනාවක්ද එල්ල කළේය.

 

Related posts

Comments are closed.

Top