ජිනීවා නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය බැඳී සිටී: රාජිත යාපනයේ දී

 

බලය බෙදාහරිමින් සියළු ජනතාවට සාමකාමීව ජීවත්වන  රටක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව බව  සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ලබා දී ඇති නිර්දේශ ඉදිරි වසර 2 තුළ ක්‍රියාත්මක කිරීමට රජය බැඳී සිටින බවයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න පවසන්නේ.

යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී 3 සදුදා  උදෑසන පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ  බැව් ප්‍රකාශ කළ බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය  ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින්  සදහන් කරයි.

යුද්ධය පැවැති සමයේ  යාපනය දිස්ත්‍රික්කයේ රෝහල් සදහා ස්වෙච්ඡා   පදනමෙන් බදවාගත් රෝහල් සේවකයන් ස්ථිර කිරීම පිළිබඳවද එහිදී  සාකච්ඡා වී තිබේ.

එහිදී සුදුසුකම් ඇති සේවකයන් ස්ථීර කිරීමට තීරණය කරන ලද අතර, යාපනය ශික්ෂණ රෝහල සංවර්ධනය කිරීම පිළිබඳව ද  සාකච්ඡා කෙරුන බව එම නිවේදනයේ තව දුරටත් සදහන්ය.

මෙම සාකච්ඡාව සදහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩි කුරේ, උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී. සත්‍යලිංගම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක ශ්‍රි චන්ද්‍රගුප්ත, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුලු නිලධාරීන් රැසක් එක්ව තිබේ.

Related posts

Comments are closed.

Top