ලංකාවේ කුණු ප්‍රශ්නය විසදන්න වෙනදට වැඩි උනන්දුවක්

මීතොටමුල්ල කුණු කන්ද ගිලා බැසීමෙන් ඇතිවූ ඛේදවාචකය හමුවේ ශ්‍රී ලංකාවේ වසර ගණනාවක් මුළුල්ලේ පැවැති කුණු ගැටලුව විසඳීමට දේශපාලකයන්ගේ දැඩි උනන්දුවක් මේ වන විට ඇතිවී තිබේ.

මේ දිනවල පළවන පුවත් බොහොමයක් කුණු ගැටලුව පිළිබඳව වීමට කැපී පෙනේ.

එසේම නිසි ක්‍රමවේදයකින් මෙම ගැටලුව විසඳීමට කටයුතු නොකළ හා කළ බවට ප්‍රකාශ කරමින් දේශපාලකයන් අතර වාද විවාද ද මේ සම්බන්ධයෙන් ඇතිවී තිබේ.

එකිනෙකා මේ සම්බන්ධයෙන් කරන චෝදනා සහ සාධාරනිකරණයන් ද එමටය.

ආපදා ඇමතිගේ අදහස

රටේ කසළ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් බවට පත් වුණේ පරිසර සංවිධාන හා ආණ්ඩුවට එරෙහි දේශපාලන බලවේගවල උසි ගැන්වීම් නිසා නිසා යැයි ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන ප්‍රකාශ කරයි.

මීපේ සහ ‍ෙදාම්පේ ප්‍රදේශවල කසළ රඳවන මඟින් එම ප්‍රශ්නය විසඳීම සඳහා කොරියානු රජයෙන් රුපියල් ලක්ෂ 60,000ක ආධාර ලැබුණ නමුත් එය අතරමඟ අතහැර දමන්නට සිදුවූ බවද අමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙළේය.

මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමතිගෙන් යෝජනාවක්

ඒ සමඟම ජාතික අවශ්‍යතාවක් සේ සලකා කුණු ගැටලුව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස එකම මධ්‍ය අධිකාරියක් යටතට පත්කළ යුතු බව මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

 

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය එක්ව එම අධිකාරිය පිහිටුවිය යුතු බව බ්‍රහස්පතින්දා (20දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවැසූ අතර අමාත්‍යවරයා එහිදී කියා සිටියේ මීතොටමුල්ල කුණු කන්ද ක්‍රමයෙන් පුනරුත්ථාපනය කළ යුතු බවයි.

අවුරුදු තුනක් තුළ එම කුණු කන්ද තිබූ ස්ථානයේ නාගරික උද්‍යානයක් ඉදිකිරීමට සුදානම් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ගෝඨාභය ගේ විසඳුම

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පුත්තලමේ විධිමත් කුණු කසළ බැහැර කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කල බවත් එය වත්මන් ආණ්ඩුව අත්හල බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය

නමුත් මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරන්නේ එය එසේ නොවූ බවයි.

” එතුමා ඒ ආරම්භ කළ පුත්තලම හිරිගල්වලට විධිමත් කසළ බහාලුමක් ඉදිකිරීමේ ක්‍රමය සාර්ථකයි. කවුරු කළත් ඒක හොඳ වැඩක්. නමුත් අපි ඒක අතරමඟ නතර කරලා නැහැ.
2014 අගෝස්තු මාසයේදී ඒ ව්‍යාපෘතිය කරන්න අනුමැතිය ලැබුණා. මීළඟට 2016දී පරිසර අමාත්‍යාංශය අධ්‍යයනය කරල 2016 ජනවාරි මස 16 වැනිදා ඊට අනුමැතිය දුන්නත් වනජීවී අමාත්‍යාංශය ඊට ඉඩදුන්නේ නැහැ. අපි ඔවුන්ටත් ඇහුම්කන් දීල වෙනත් ස්ථානයක් අධ්‍යයනය කරමින් ඉන්නේ”

තිලංග වෙන කතාවක් කියයි

මල්වතු අස්ගිරි නාහිමියන් බැහැදැකීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී , නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල පවසන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පුත්තලමේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කල ව්‍යාපෘතිය සම්පුර්ණයෙන් ම අසාර්ථක යෝජනාවක් බවයි.

ජවිපෙ මතය

රාජපක්ෂ පාලනය විසින් ගොඩගැසූ මීතොටමුල්ල කුණු කන්ද මෛත්‍රි – රනිල් හවුල පවත්වාගෙන ගිය බවත් කුණු කන්ද නායයෑමේ ඛේදවාචකයට ආණ්ඩු දෙකම වගකිවයුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් චෝදනා කළේ බ්‍රහස්පතින්දා (20) පැවැති මාධ්‍ය හමුවකදීයි.

මීතොටමුල්ල කුණු කන්ද නායයෑමෙන් ජීවිත 32ක් අහිමි වන තුරු බලා සිටි පාලකයන් මේ මොහොතේ එහි වගඋත්තරකරුවන් ලෙස විපතට පත් ජනතාවටම ඇඟිල්ල දිගු කරමින් සිටින්නේ ආණ්ඩුවේ දෙවැනි සාපරාධී ක්‍රියාවටත් අතගසමින් බව මන්ත්‍රි විජිත හේරත් පෙන්වා දෙයි.

පසිගිය ආණ්ඩුවේ පරිසර ඇමැති, මේ ආණ්ඩුවේ මෙගා පොලිස් ඇමැති ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක කිසිවක් නොකළ බවට හෙතෙම චෝදනා කරයි.

කුණු විරෝධතා

මේ අතර කොළඹ එකතුවන කුණු තම ප්‍රදේශ වලට රැගෙන එමෙන් වලකින ලෙස විවිධ ප්‍රදේශවල උද්ගෝෂණ ක්‍රියාත්මක අතර ඇතැම් ප්‍රදේශවල පිරිස් ඉවත් කිරීමට පොලිසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර ද එල්ල කරනු ලැබිය.

ජනපති නියෝගය

මේ සියලු විරෝධතාවයන්ට වැට බඳිමින් කුණු ඉවත්කිරීමේ ක්‍රියාවලිය වැළැක්වීම පිණිස ක්‍රියාකරන පුද්ගලයන් වරෙන්තු රහිතව අත් අඩංගුවට ගැනීමට පෙලීසිය වෙත බලය පැවරෙන විශාශ ගැසට් නිවේදනයක් ජනාධිපතිප්වරයා නිකුති කළේය, එය බ්‍රහස්පතින්දා (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.

ඒ අනුව පළාත් පාලන ආයතනවල කුණු බැහැරකිරීමේ ක්‍රියාවලියන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්වී තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කුණු වෙන වශයෙන් බැහැර කිරීමේ ව්‍යාපෘතිය අරඹමින්

කුණු දැමීම තහනම්

මේ අතර එළැඹෙන මැයි මස පළමු වැනිදා සිට නාගරික සංවර්ධන අධිකාරියට අයත් රජයේ කිසිදු ඉඩමකට කුණු බැහැර කරලීම තහනම් කිරීමට එම අධිකාරිය තීරණය කර තිබේ.

යම් නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට හෝ රජයේ ආයතනයකට කුණු බැහැර කරලීමට භූමියක් අවශ්‍ය වන්නේ නම් එම ආයතනය සතු ප්‍රතිපාදනවලින් අදාළ වියදම් පියවීමට සිදුවන බවද නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේය .

මේ හේතුව නිසා කුණු බැහැරකිරීමට අවශ්‍ය ප්‍රදේශ සොයාගැනීමේ ගැටලුවක් දැන් ආණ්ඩුව හමුවේ පන නැගී තිබේ.

කුණු ප්‍රශ්නය කුණු වීමට නොදී කඩිනමින් විසඳ ගතහොත් වගකිව යුත්තන්ට ජනතාව හමුවේ කුණු නොවී හිඳීමට ඉඩ සැලසෙනු ඇත.

Related posts

Comments are closed.

Top