ශ්‍රී ලංකාව වෙනුවෙන් එන නව මානව හිමිකම් යෝජනාවට ඉන්දියාව සහය නොදැක්විය යුතුයි -කරුණානිධි

Karunanidhi

 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙත ශ්‍රී ලංකාවේ හවුල්කාරත්වයෙන් යෝජනාවක් ගෙන ඒමට ඇමෙරිකා එක්සත් ජනපදය ගන්නා ප්‍රයත්නයට ඉන්දියාවේ සහයෝගය හිමි නොවිය යුතු බව ඉන්දියාවේ ඩී.එම්.කේ . පක්ෂයේ නායක මුතුවේල් කරුණානිධි ප්‍රකාශ කරයි.

ඉන්දියාවේ පළවන “ඩෙකෑන් ක්‍රොනිකල්” පුවත්පත සඳහන් කරන අන්දමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි වෙත ලිපියක් යවමින් කරුණානිධි මෙම ප්‍රකාශය කර තිබේ.

” මෙම ප්‍රයත්නය ඇමෙරිකා එක්සත් ජනපදය කලින් දැරූ ස්ථාවරය වෙනස් කිරීමක්. ඔවුන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී සඳහන් කළේ 2009 වසරේ ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් අදියරේ වුවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන බවයි.

මම විශ්වාස කරන විදියට ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලබාගෙන මෙම නව යෝජනාව ගේන්න උත්සාහ ගන්නවා . සමහරවිට ඔහු කැමති ඇති ඉන්දියාවත් සහයෝගය දෙනවාට” යනුවෙන් කරුණානිධි “ඩෙකෑන් ක්‍රොනිකල් ” පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

” අපි දෙමළ ඩයස්පෝරාව සමඟ එක්ව මෙම අවිධිමත් ක්‍රියාව ට විරෝධය දක්වනවා . මෙම ක්‍රියාවට ඉන්දියාව සහයෝගය දැක්වුවහොත් ඉතිහාසය කිසිදාක සමාවක් දෙන එකක් නැහැ ,” යැයි ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත.

එසේම නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පත් වී සය මාසයක් ගත වුව ද ඔහු විසින් දෙමළ ජනතාව වෙත ලබාදුන් පොරොන්දු වල කිසිදු ප්‍රගතියක් අත්වී නොමැති බවටද කරුණානිධි චෝදනා කරයි.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ සිදුවූ අපරාධ සම්බන්ධ චෝදනා විභාග කිරීම සඳහා අභ්‍යන්තර පරීක්ෂණයකට ඉඩ සලසන යෝජනාවක් සැප්තැම්බර් 14න් ඇරැඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ගෙන ඒම එක්සත් ජනපද සැලසුම බව සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් අගෝස්තුවේ කොළඹදී හෙළි කළාය.

 

Related posts

Comments are closed.

Top