අලුත් ත්‍රස්ත පනතට දෙස් විදෙස් විරෝධය | VIDEO

ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා රජය විසින් අලුතින් සම්මත කරගැනීම සැරසෙන පනත ප්‍රජාතන්ත්‍ර විරෝධී සැලසුමක් ලෙසින්  ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය සහ දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන දැඩි දෝෂ දර්ශනයට තිබේ.

විධායක බලය ජනතාව මත පැටවීමේ උත්සාහයක් ලෙස දෙමළ ජාතික සන්ධානය විසින් හෙලා දැක ඇති කැබිනට් මණ්ඩලය විසින් අප්‍රේල් 25 දා සම්මත කරගන්නා ලද ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත් කෙටුම්පත වහාම හකුලා ගන්නා ලෙස දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කිහිපයක් නිවේදනයක් මගින් රජයට බලකර සිටී.

නව පනත් කෙටුම්පත් රාමුව පිලිබඳ කම්පාවට පත්වූ බව සඳහන් කරන දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන්  නිකුත් කරන නිවේදනයකින් පවසා ඇත්තේ එමගින් මානව හිමිකම් උල්ලංඝනයටත් වධහිංසා පැමිණවීමටත් ඉඩ සලසන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම පෙන්වා දී ඇති කරුණක් වුයේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගන්නා අයගෙන් පාපෝච්චාරන ලබා ගැනීම සඳහා වධ දීම රටේ පුළුල් වශයෙන් සිදුවන බවයි.

වෙරිටේ පර්යේෂණ ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ ගෙහාන් ගුණතිලක නීතිවේදියා ද පවසන්නේ අත් අඩංගුවේ දී වධ හිංසා කිරීම සඳහා නව පනත් කෙටුම්පත පොලිසියට දිරි දෙන බවයි.

රටේ “එක්සත් කම” නැතහොත් “සමගිය” යන පුළුල් අර්ථකථනය යොදාගෙන විරුද්ධ මතධාරීන්  දණ්ඩනයට ලක් කිරීමට නව පනත ඉඩ සලසන බව ඔහු පෙන්වා දෙයි.

සංවිධාන පහක්

ප්‍රතිපත්ති පර්යේෂණ සඳහා වන අඩයාලම් මධ්‍යස්ථානය (යාපනය, ශ්‍රී ලංකාව), සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ජොහැන්නස්බර්ග්, දකුණු අප්‍රිකාව), ලංකාවේ සමානතාව සහ සහන සඳහා වන ජනතාව (වොෂින්ටන්, ඇමරිකා එක්සත් ජනපදය), ශ්‍රී ලංකා කැම්පේන් (ලන්ඩන්, එක්සත් රාජධානිය), දෙමළ සිවිල් සමාජ සංසදය (උතුරු නැගෙනහිර ශ්‍රී ලංකාව) විසින් නිකුත් කර ඇති නිවේදනයක් මගින් ද පෙන්වා දී ඇත්තේ  දැනට පවතින  පනතේ එන ත්‍රස්‌තවාදය සම්බන්ධයෙන් වන පමණ ඉක්මවන පුළුල් නිර්වචනය ආපස්සට ගනු වෙනුවට නව පනත එය තවත් ප්‍රසාරණය කරමින් ශ්‍රී ලංකාවේ “එක්සත් කම” ට තර්ජනයක් වන ඕනෑම ක්‍රියාකාරකමක් අපරාධයක් බවට පත් කරන බවයි.

නව පනත පරුෂ සහ බාධාකාරී ත්‍රස්ත නීතියක් ලෙස හෙලා දැක ඇති එම සංවිධාන පවසන පරිදි එමගින්  “බලයට එන ආණ්ඩු වලට මර්දනය සහ බිය ගැන්වීම සඳහා කලින්ම සකස් කරන ලද ආයුධයක් සපයා දී” ඇති වග පවසයි.

ත්‍රස්තවාදය පිටු දැකීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එම සංවිධාන එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් යුරෝපා සංගමයටත් අනතුරු අඟවමින් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ රජය එමගින් සිය ජාත්‍යන්තර වගකීම් පැහැර හැර ඇති බවයි.

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 30/1 යෝජනාව යටතේ වන වගකීම් සහ GSP+ නැවත ලබා දීම සඳහා ඇති කොන්දේසි සම්බන්ධයෙන් මෙම අලුත් පනත් කෙටුම්පත මගින් ලබාදෙන පැහැදිලි පණිවිඩය නොතකා නොහරින ලෙස අපි මානව හිමිකම් කොමිසමින් සහ යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටිමු,” යි නිවේදනය පවසයි.  “ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පැත්තෙන් ගත් කල මෙම පනත වහාම ඉල්ලා අස්කරගත යුතු අතර අඩුම තරමින් ජාත්‍යන්තර ප්‍රමිතිය හා ගැලපෙන පරිදි එහි අන්තර්ගතය සංශෝධනය කළ යුතුය.”

නව පනත් කෙටුම්පත රටේ ජනතාවගේ ආරක්ෂාව හෝ නිදහස සහතික නොකරන බව පවසන දෙමළ ජාතික සන්ධානය පුරවැසියන්ගේ අයිතිය “වෙළෙඳ සහන සඳහා වන අල්තාරය මත පුජා නොකරන මෙන්,” ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

“ගාඩ් එක” රැක ගැනීම

අගමැතිවරයා විසින් කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කොට ඇති පිටු 73කින් සමන්විත යෝජනාව අමාත්‍ය මහින්ද සමරසිංහ විසින් හඳුන්වන ලද්දේ “රාමුවක් පමණක්” ලෙසයි.

යුද්ධයක් පැවති රටක් වශයෙන් ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයට එරෙහිව “ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල” අන පනත් සම්මත කර ගැනීම මෙන්ම උතුරේ යුද සේනා රඳවා තැබීමත් අත්‍යාවශ්‍ය බවයි ගගන ට විශේෂ ප්‍රකාශයක් කරමින් නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍යවරයා කියා සිටියේ.

“ගාඩ් එක පල්ලෙහාට දාන්න බැහැ,” යි ඔහු අවධාරණය කළ ඔහු නව පනතට විරෝධය පල කිරීමේ අවශ්‍යතාවක් වේ නම්, සුමන්දිරන් මන්ත්‍රීවරයාට අධිකරණය හමුවට යන මෙන් අභියෝග කර සිටියේය.

Related posts

Comments are closed.

Top