විදේශීය විනිසුරන් සම්බන්ධයෙන් ආණ්ඩුව තීන්දුවක් ගත යුතුයි: චන්ද්‍රිකා | VIDEO

යුද්ධයෙන් හානි සිදුවූ පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව ස්ථිරසාර පියවරක් ගත යුතු බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කරයි.

විශ්වසනීය අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීමේදී විදේශීය විනිශ්චයකාරවරුන් දායක කරගැනීම සඳහා වන දේශීය හා ජාත්‍යන්තර නිර්දේශ මගින් රජය හමුවේ ඇති මතුකොට ඇති අභියෝගය හිටපු ජනාධිපතිනිය විසින් මාධ්‍යවේදීන් හමුවේ කොළඹදී  ප්‍රකාශ කර සිටියේ සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරමිනි.

ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලය (ONUR) විසින් සම්පාදනය කරන ලදුව කැබිනට් මණ්ඩලය විසින් මේ මස දෙවැනිදා අනුමත කරන ලද එම නිර්දේශ මාලාව සංහිඳියාව හා සහජීවනය සඳහා වන ජාතික ප්‍රතිපත්තිය ලෙස ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

යුක්තිය ඉටු කරලීම සඳහා යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව ද ඇතුළු සියලු පාර්ශව සහභාගි කර ගනිමින් “ස්වාධීන, ඉලක්කගත, විශ්වසනීය, යෝග්‍ය පරිදි සම්පත් දායක කරගනු ලැබූ යාන්ත්‍රණ හරහා,” පියවර ගැනීමට රජය විසින් සෑම උත්සාහයක්ම දැරිය යුතු බව  ONUR අවධාරණය කර සිටී.

යුද්ධයේදී හිතාමතා සාමාන්‍ය වැසියන්ට හානි සිදුකර ඇතිනම් ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමේ වගකීමක් රජය සතුව ඇති බව කී ඇය ඒ ගැන බියෙන් පසුවන වැරදි කළ හමුදාවේ ප්‍රධානීන් සහ දේශපාලකයන් විදේශීය විනිසුරන් ගෙන්වීම සම්බන්ධයෙන් පමණක් ප්‍රචාරයේ යෙදෙමින්  දේශපාලන වාසි ලබා ගැනීමේ උත්සාහයක නිරත වන බවට චෝදනා කළාය.

යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීම සඳහා මහජන අදහස් විමසීමට රජය විසින් පත් කරන ලද ආචාර්ය මනෝරි මුත්තෙට්ටුවගමගේ ප්‍රධානත්වයෙන් යුත් සංහිඳියාව සඳහා වන ඉහල පෙලේ කමිටුවක් නිර්දේශ කොට තිබුනේ යුද අපරාධ ඇතුළු බරපතල මානව හිමිකම් උල්ලංඝන චෝදනා විභාග කෙරෙන අධිකරණය සඳහා විදේශීය විනිශ්චයකාරවරුන් ඇතුලත් කරගත යුතු බවයි.

සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය (CTF) සිය  වාර්තාව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුදාම රජය විසින් එම නිර්දේශය එකහෙලා ප්‍රතික්ෂේප කරන ලදී.

එවන් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ආණ්ඩුවක් යුද පීඩිතයන් ගේ අනුමැතිය ලබන සංක්‍රාන්ති යුක්ති ක්‍රියාදාමයකට කෙසේ එකඟ වනු ඇතිදැයි ගගන කළ විමසීමකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිනිය මාධ්‍යවේදීන් හමුවේ 9 අඟහරුවාදා ප්‍රකාශ කර සිටියේ රටේ සංහිඳියාව ඇති කිරීමට නම් යුද පීඩිතයන්ට පිළිගත හැකි යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රජය පියවර ගත යුතු බවයි.

ජනතාවට පැහැදිලි කර දීම

“රජයක් හැටියට තීන්දු කළ යුත්තේ මෙතනින් මොකක්ද ප්‍රධාන කියලා. යුක්තිය ඉටු කරනවාද, විදේශීය විනිශ්චයකාරවරුන් ගෙන්වනවාද කියා,” යි හිටපු ජනාධිපති චන්ද්‍රිකා ප්‍රකාශ කළාය.

ඒ පිළිබඳව ජනතාවට කරුණු පැහැදිලි කර දීම රජයේ වගකීම බව ඇය අවධාරණය කළාය.

සංහිඳියාව සඳහා පියවර ගැනීමේදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වනු ඇති බවට ආණ්ඩු විරෝධී දේශපාලකයන් පල කරන අදහස් හිටපු ජනාධිපතිවරිය විසින් තරයේ ප්‍රතික්ෂේප කරන ලදී.

ජාතික ආරක්ෂාව තහවුරු වන්නේ ජාතීන් අතර සංහිඳියාවක් ඇති වුවහොත් පමණක් බව චන්ද්‍රිකා කුමාරතුංග දැඩිව අවධාරණය කළාය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ බලවේග විසින් දිගටම ප්‍රකාශ කරනු ලබන්නේ විවිධ අපරාධ සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් අත් අඩංගුවට ගැනීම මගින් ජාතික ආරක්ෂාව අනතුරේ වැටෙන බවයි.

අපරාධ වලට වගකිව යුතු හමුදා නිලධාරීන් අත් අඩංගුවට ගනු ලබන්නේ යුද්ධය සිදු කළ ආකාරය පිලිබඳ විමර්ශන සඳහා නොවන බව ඇය කියා සිටියාය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ බලවේග විසින් දිගටම ප්‍රකාශ කරනු ලබන්නේ විවිධ අපරාධ සම්බන්ධයෙන් හමුදා නිලධාරීන් අත් අඩංගුවට ගැනීම මගින් ජාතික ආරක්ෂාව අනතුරේ වැටෙන බවයි.

අහිංසක හමුදා භටයන්

හමුදා නිලධාරීන් අත් අඩංගුවට ගනු ලබන්නේ හිටපු ආණ්ඩුව යටතේ දකුණේ සිදු කරන ලද අපරාධ සම්බන්ධ විමර්ශන සඳහා විනා යුද්ධය සිදු කළ ආකාරය පිලිබඳ විමර්ශන සඳහා නොවන බව ඇය කියා සිටියාය.

“හිටපු ආරක්ෂක ලේකම් ඇතුළු ආරක්ෂක ලොක්කන් අහිංසක හමුදා භටයන් පාවිච්චි කළා ඒගොල්ලන්ගේ විරුද්ධවාදීන් මරන්න,” යි චෝදනා කළ ඇය අත් අඩංගුවට ගැනීම් මගින් සත්‍යය හෙළිදරව් කර ගත හැකි  බවට විශ්වාසය පල කළාය.

සොල්දාදුවන් අත් අඩංගුවට නොගෙන අපරාධ කිරීමට අණ දුන් නිලධාරීන් ගැන හෙළි කරගත නොහැකි බවත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වැඩිදුරටත්  කියා සිටියාය.

සේයා: රොෂාන් චතුරංග 

Related posts

Comments are closed.

Top