“කොටි බුද්ධි ලොක්කා” ගැන අහන්න දිවයින මාධ්‍යවේදියා කැඳවයි

 

එල්ටීටීඊ සංවිධානයේ බුද්ධි අංශ ප්‍රධානියා සම්බන්ධ විමර්ශනයකට දිවයින පුවත්පතේ මාධ්‍යවේදියකුට ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් කැඳවීමක් කර ඇත.

මීට මාසයකට ඉහතදී මාධ්‍යවේදී සමන් ගමගේ විසින් දිවයින පුවත්පතේ පළ කරන ලද කොටි බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස ඔහු විසින් හඳුන්වන ලද ජයන්තන් නම් අයකු පිළිබඳ ලිපියක් මෙම කැඳවීමට හේතු වී තිබේ.

දිවයින පුවත් පත අප්‍රේල් 16 වැනිදා පළ කර ඇති වාර්තාවක සදහන් කර ඇත්තේ “කොටි බුද්ධි “ලොක්‌කා” මේ දිනවල ලංකාවේ” යනුවෙනි.

“ජෙයන්දන් බලකායේ නායකයා වූ ජෙයාත්දන් හෙවත් මොහාන්දාස්‌ නමැත්තා ඉකුත් සතියේ ධීවර යාත්‍රාවත් මගින් මන්නාරම ප්‍රදේශයට පැමිණ තිබේ,” යි එහි වාර්තා කර තිබුනි.

එය ලියූ සමන් ගමගේ “දන්නා තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා” මැයි මස 22 උදේ 9 ට ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ විමර්ශන අංශයට පැමිණෙන ලෙස එහි ස්ථානාධිපති ටී.ඩී.ඩී ජයසුන්දර දැනුම් දී ඇත.

ජයන්තන් පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධ පරීක්ෂණ සිදු කරන්නේ තමන් බව සඳහන් කරන පොලිස් පරීක්ෂක ජයසුන්දර “මෙම නියෝගයට අනුකුලව ක්‍රියාකිරීමට අපොහොසත් වීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 17 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි,” යනුවෙන් ලිපියෙහි අවධාරණය කර ඇත.

මාධ්‍ය නිදහස

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ ස්ථානාධිපති විසින් එවන ලද ලිපිය සිය මුහුණු පොතේ පළ කරමින් මෙය මාධ්‍ය නිදහස දැයි සමන් ගමගේ ප්‍රශ්න කර ඇත.

“ඔවුන් සොයන්න ඕනේ ජෙයන්තන්ව ද නැතිනම් මාවද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කර ඇත.

‘ඉරිදා දිවයින’ පුවත් පතට සමන් ගමගේ විසින් මීට ඉහතදී ලියන ලද ලිපියක සඳහන් කරුණු අනුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව ඔහුට මනා අවබෝධයක් ඇති බව අනාවරණය වන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීමෙන් පසු පසුගිය වසරේ ද ඔහුට  අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුනි.

Related posts

Comments are closed.

Top