සරණක් නොලද අතුරුදහන් වුවන්ගේ ඥාතීහු එජා මහලේකම්ට ලියති

යුද සමය තුළ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ මව්වරුන් විසින් “අපි මැරෙන්නට කලින්, දින කිහිපයක් හෝ අපගේ දරුවන් සමඟ ගත කරන්නට ආසයි” යනුවෙන් හැගීම්බරව ඉල්ලා සිටිමින්, අත්සන් 138 කින් යුත් ලිපියක් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුතරෙස් සහ බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ වෙත යොමු කර තිබේ.

රජයෙන්, රාජ්‍ය නොවන සංවිධාන වලින් හෝ අන්තර්ජාතික සංවිධාන වලින් කිසිදු සහනයක් ලැබී නොමැති සිය සංගමයේ සාමාජිකයන් කායික මෙන්ම මානසිකව ද පිරිහී තවදුරටත් දුර්වල වන බව ඔවුහු ලිපියෙහි සඳහන් කර ඇත.

යුද්ධය නිමා වී අට වැනි සංවත්සරය සමරන විටත් සිය පවුල්වල අතුරුදහන් වූ පුතුන්, දියණියන්, සැමියන්, බිරින්දෑවරුමෙන්ම  මුනුපුරු, මිනිපිරියන්ටත් සිදු වුයේ කුමක්දැයි සොයා ගැනීමට අපට අවශ්‍ය බව ඔවුහු පවසති.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසාන අවදියේදී කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පමණක් 1200 කට ආසන්න පිරිසක් අතුරුදහන් වන්නට ඇතැයි පවසන මොවුහු හමුදාවේ රහස් වධකාගාර පවත්වාගෙන ගිය පුද්ගලයන්ගේ නම් ද තමන්ට දැනගැනීමට අවශ්‍ය බව සඳහන් කර තිබේ.

කිලිනොච්චි අතුරුදන් වූවන්ගේ ඥාතීන් විසින් සිදු කරන උද්ඝෝෂණයට අදට දින 80 කට වැඩි කාලයක් ගත වී ඇත.

යුද සමය සහ ඉන් පසු කාලය තුල ශ්‍රී ලංකාවේ පුද්ගල අතුරුදහන් වීම් විසිදෙදහසක් තමන්ට වාර්තාවී ඇති බව මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට දැනුම් දී තිබේ.

Related posts

Comments are closed.

Top