රතුපස්වල මාරාන්තික වෙඩි තැබීමට අණදීම ගැන සෙන්පතියකු රිමාන්ඩ්

සිව් වසරකට ඉහතදී බීමට ජලය ඉල්ලා උද්ඝෝෂණයේ යෙදුනු පාසල් සිසුවකු ඇතුළු තුන් දෙනකු ඝාතනය කර තවත් විශාල සංඛ්‍යාවකට තුවාල සිදු කළ වෙඩි ප්‍රහාරයට අණ දුන් බවට චෝදනා ලබන යුද සෙන්පතියා රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

වැලිවේරිය, රතුපස්වල උද්ඝෝෂකයන්ට  2013 අගෝස්තු පළමු දා වෙඩි තැබීමට අණදුන් බවට චෝදනා ලබන  බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ විසින් මැයි 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන 25 බ්‍රහස්පතින්දා අත් අඩංගුවට ගන්නා ලද්දේ වැලිවේරිය රතුපස්වල උද්ඝෝෂකයන්ට යුද හමුදාව විසින්  වෙඩි තැබීම සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා ගැනීම සඳහා දෙවැනි වරට කැඳවන ලද අවස්ථාවේය.

යුද හමුදා වෙඩි ප්‍රහාරයෙන් රවිශාන් පෙරේරා, අකිල දිනේෂ් සහ නිලන්ත පුෂ්පකුමාර ඝාතනය කොට තවත් 37කට තුවාල සිදු කිරීමේ වරදට මේ වනවිට අත් අඩංගුවට ගෙන සිටින හමුදා නිලධාරීන් සංඛ්‍යාව හතරකි.

මාණ්ඩලික සැරයන්වරයකු සහ කෝප්‍රල්වරුන් දෙදෙනකු වන ඩී.ඒ සිරිසේන, ජේ.එම් තිලකරත්න සහ ලලිත් ග්‍රේ මාර්තු මස අගදී අත්අඩංගුවට ගෙන මැයි 31 දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.

ගෝඨාභය ගේ නියෝග

පානීය ජලය ඉල්ලූ නිරායුද ජනකායට වෙඩි තැබීම සම්බන්ධයෙන් යුද හමුදාව වගකිව යුතු බවට සදහන් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වාර්තාවක් නිකුත් කර ඇති අතර ඊට අණ දීම සඳහා බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධනට නියෝග කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවට වෘත්තීය සමිති නායකයන් ඇතුළු ක්‍රියාධාරීන් චෝදනා නගා තිබේ.

පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ වැලිවේරිය රතුපස්වල ගම්වාසීන්ට යුද හමුදාවෙන් වෙඩි තැබීම සැලසුම් සහගතව ක්‍රියාත්මක වුවක් බව ඒ පිලිබඳ සිංහලෙන් පල කෙරුනු මුල්ම ගවේෂණාත්මක කෘතිය ‘‘ජන අරගලයක දිය සලකුණ රතුපස්වල‘‘  රචනා කළ  මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මීට ඉහතදී  ගගනට ප්‍රකාශ කර තිබුණි.

රතුපස්වල වෙඩි තැබීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්  ආරක්ෂක උපදේශකයකු ලෙස තුර්කියේ ඇන්කාරා නුවර ශ්‍රී ලංකා තනාපති කාර්යාලයට පත් කර යවන ලද බ්‍රිගේඩියර් ගුණවර්ධන පෙරලා පැමිණියේ 2015 සැප්තැම්බරයේ ය.

Related posts

Comments are closed.

Top