මේ ආණ්ඩුව යටතේ “දෙසීයකට ආසන්න ක්‍රිස්තියානි විරෝධී ප්‍රහාර“ | VIDEO

 

වර්තමාන රජය බලයට පත්වූ දා සිට මේ දක්වා ක්‍රිස්තියානි වන්දනා ස්ථාන 190කට වැඩි සංඛ්‍යාවක් ප්‍රහාරයට ගොදුරු වී ඇති බව ශ්‍රී ලංකාවේ මුල් පෙලේ ආගමික සංවිධානයක් පවසයි.

මේ වසරේ  මුස්ලිම් ආගමික හා ව්‍යාපාරික ස්ථාන වලට එරෙහි ප්‍රහාර වලට අමතරව ගතවූ පස් මාසය තුල පමණක් රට පුරා ක්‍රිස්තියානි විරෝධී ප්‍රචණ්ඩතා සහ බියගැන්වීම් 20ක් දියත්වී ඇති බව වාර්තා වී ඇතැයි පවසන ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය  (NCEASL) වගකිවයුතු අපරාධකරුවන් කිසිවකුත් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන නැති බව පෙන්වා දෙයි.

ඒ කාල සීමාව තුලම බොදු බල සේනා ඇතුළු සිංහල බෞද්ධ අන්තවාදී සංවිධාන විසින් මුස්ලිම්වරුන්ට එරෙහිව දියත් කරන ප්‍රහාර උත්සන්න වී තිබීම සම්බන්ධයෙන්ද NCEASL මහත් කම්පාව පල කොට ඇත.

ක්‍රිස්තියානි දේවස්ථානයකට එරෙහිව මෑතදීම ප්‍රචණ්ඩත්වය දියත් වූයේ මැයි මස 18 දා බව ධර්මදාන සන්ධානය විසින් මුස්ලිම් හා ක්‍රිස්තියානි විරෝධී ප්‍රහාර දැඩි සේ හෙලා දකිමින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක දැක්වෙයි.

එදින බෞද්ධ භික්ෂුන් තිස් දෙනකුගේ පමණ මෙහෙයැවීමෙන් කඩා වැදුණු දෙදහසක පමණ කල්ලියක් මාතර දෙවිනුවර යාඥා ගෘහයකට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

ප්‍රහාර සඳහා රාජ්‍ය අනුග්‍රහය

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මෙන්ම වර්තමාන මෛත්‍රී-රනිල් පාලන සමයේද මෙම විරෝධතා රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන බව NCEASL චෝදනාවකි.

“අතීතයේද මෙවැනි ප්‍රහාර සහ විරෝධතා දියත් වී තිබුනත්, සිදුවීම් උත්සන්න වීමත්, ප්‍රාදේශීය ආණ්ඩුවේ නිලධාරීන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වයත් බරපතල කනස්සල්ලට හේතුවී තිබේ,” යි මාධ්‍ය නිවේදනහි සඳහන් වෙයි.

ප්‍රචණ්ඩතාව දියත් කරන අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට සුළුතර ආගමිකයන්ගේ නිදහස ආරක්ෂා කිරීමට පලදායී පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය “රටේ මානව හිමිකම් තත්වය යහපත් අතර හැරී ඇති බව කියාපාන ආණ්ඩුවට” බලකර කියා සිටී.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අන්තර් ආගමික ගැටුම් විසඳීමට ආගමික නායකයන් එක්විය යුතු බවයි.

“රටේ ආගමික ගැටුම් වලක්වා අසමගිය ඇති කරන පාර්ශව වලට කරුණු පහදා දී නීතිය නිසියාකාර ක්‍රියාත්මක කිරීමේ පොදු වැඩසටහනක්,” ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අන්තර් ආගමික උපදේශක සභාව හමුවේ මැයි 31 දා අවධාරණය කරන ලදැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ඥාණසාර හිමි

මේ අතර, මුස්ලිම් හා ක්‍රිස්තියානි විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින බොදුබල සේනාවේ නායක ගලගොඩඅත්තේ ඥාණසාර තෙරුන් රෝහල් ගතවී සිටින හෙයින් නියෝග කර තිබූ පරිදි ජූනි 1 දා පැමිණිය නොහැකි බව ඔහුගේ නීතිඥවරයා මගින් අධිකරණයට දන්වා තිබේ.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කිරීමේ නඩුව අවස්ථාවේ හෝමාගම අධිකරණ භුමියේ ප්‍රචණ්ඩ ලෙස හැසීරීමෙන් උසාවියට අපහාස කිරීමේ චෝදනාවක් විභාග කිරීම සඳහා ඔහු අධිකරණයට කැඳවා තිබුනි.

නැවත ජූනි මස 12 දා පැමිණෙන ලෙස අභියාචනාධිකරණය ඥාණසාර හිමියන්ට නියෝග කර ඇත.

Related posts

Comments are closed.

Top