පීඩාවට පත් සිංහල, මුස්ලිම් හා ක්‍රිස්තියානි ජනතාව ගැන උතුරේ කම්පාව| VIDEO

ගංවතුර හා නායයෑම් උවදුරින්  විපතට පත් බහුතරයක් සිංහල වූ දකුණේ ජනතාව සහ අන්තවාදී ප්‍රහාරවලින් පීඩාවට පත් මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමිකයන් වෙනුවෙන් උතුරු පළාත් සභාවේ  කම්පාව පලවී තිබේ.

ශ්‍රී ලංකාවේ  මුස්ලිම් ජනයාට හා සිංහල කතා කරන ක්‍රිස්තියානි ජනයාට එරෙහිව දිගින් දිගටම   එල්ල වන  ප්‍රහාර හෙලා දකිමින් රජයට බල කෙරෙන යෝජනාවක් 6 අගහරුවාදා සම්මත කරගත්  උතුරු පළාත් සභාව රජයෙන් ඉල්ලා ඇත්තේ එම ප්‍රහාර නතර කර රටේ නීතිය සහ සාමය ස්ථාපිත කිරීමට වහාම පියවර ගන්නා ලෙසයි.

නිර්බාධිතව සිදුකෙරෙන මුස්ලිම් හා ක්‍රිස්තියානි විරෝධී ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පළාත් සභාවක් මෙසේ යෝජනාවක් සම්මත කරගෙන ඇත්තේ පළමු වතාවටය.

උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් යෝජනාව ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත්තේ මෙම ප්‍රචණ්ඩ ක්‍රියා අනාගතයේ යළිත් වරක් මෙරට  ජන සංහාරයක ආරම්භයකට මග පෑදීමේ  පියවරක් වේද යන්න සම්බන්ධයෙන් බියක් ඇති වන බවයි.

;

 

එම ප්‍රහාර පිටුපස සිංහල සුලු පිරිසක් සිටින බවට චෝදනා එල්ල කර ඇති මන්ත්‍රීවරයා මෑතකදී එල්ල වු ප්‍රහාර සම්බන්ධයෙන් වගකිවයුතු අපරාධකරුවන් වහාම නීතිය හමුවට පමුනුවා ඔවුන්ට දඩුවම් ලබා දී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසද ඉල්ලා තිබේ.

එජනිස සහාය

මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම්ගේ  යෝජනාවට එකගත්වය පල  කරමින්  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී වී.ජයතිලක කියා සිටියේ නැවත වරක්  රටේ ජාතීන්  හා ආගම් අතර  අසමගිය ඇති කිරීමට කිසියම් පිරිසක් කටයුතු කිරිම හෙලා දකින බවයි.

නීතිය කඩ කරන්නන්ගේ තරා තිරම නොබලා නීතිය තදින්ම ක්‍රියා කරන ලෙස උතුරු පළාත් සභාව මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කළ යුතු බවද ඔහු සදහන් කළේ මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ගේ යෝජනාවට සහාය පල කරමිනි.

මුස්ලිම් දේවස්ථානවලට සහ මුස්ලිම් ප්‍රජාව සතු ව්‍යාපාරික ස්ථාන වලට මෑතකදී එල්ල වු ප්‍රහාර සම්බන්ධයෙන් වගකිවයුතු අපරාධකරුවන් වහාම නීතිය හමුවට පමුනුවන ලෙස විදේශීය දූත මණ්ඩල කිහිපයක් ද පසුගියදා  ආණ්ඩුවෙන් ඉල්ලා තිබුනි.

 

වර්තමාන රජය බලයට පත්වූ දා සිට මේ දක්වා ක්‍රිස්තියානි වන්දනා ස්ථාන 190කට වැඩි සංඛ්‍යාවක් ප්‍රහාරයට ගොදුරු වී ඇති බව ශ්‍රී ලංකාවේ මුල් පෙලේ ආගමික සංවිධානයක් ද පෙන්වා දී ඇත.

ගංවතුර උවදුර

මේ අතර පසුගියදා දිවයිනට බලපෑ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ජීවිත අහිමි වු දකුණේ ජනතාව වෙත ශෝකය ප්‍රකාශ කිරීම සදහා විනාඩියක නිහඩතාවයක් පැවැත්වීමට ද  උතුරු පළාත් සභාවේ සාමාජිකයන් කටයුතු කර තිබේ.

පසුගිය දින කිහිපය තුල බලපෑ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෙරටට අහිමි වු මිනිස් ජීවිත ප්‍රමාණය 213 ක් බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සදහන් කරයි.

ඔක්තෝබර් අග දක්වා කාලය තුලදී  3,74,000 කගේ ජීවිතාරක්ෂාව සහ රැකවරණ සැලසීම සඳහා තවත් ආධාර අවශ්‍ය වී තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්වෙයි.

 

Related posts

Comments are closed.

Top