ජාතිවාදීන් ආරම්භ කර ඇති යුද්ධයට ආණ්ඩුව මුහුණ නොදෙන බවට චෝදනා| VIDEO

වත්මන් රජය ජාතිවාදයට ඔරොත්තු නොදෙන ස්වරූපයක් පෙන්නුම් කරමින් සිටින බව ආණ්ඩුව බලයට පත් කිරීමට වෙහෙසුනු මානව හිමිකම් ක්‍රියාධරයෙක් පවසයි.

ජාතිවාදීන් මේ වන විටත් යුද්ධය ආරම්භ කර ඇතත් රජයක් හැටියට එයට මුහුණ නොදෙන බව පවසන  බ්‍රිටෝ ප්‍රනාන්දු අලුත් ඇමැති මාරුව ඊට උදාහරණයක් සේ දක්වයි.

අතුරුදහන්වීම් වලට එරෙහිව දිගින් දිගටම ක්‍රියා කරමින් සිටි මංගල සමරවීර වැන්නෙක් විදේශ අමාත්‍යධුරයේ සිටියදී අතුරුදහන්වුවන් වෙනුවෙන් යුක්තියක් ඉටු වෙතැයි යම් විශ්වාසයක් පැවැතියත් විදේශ අමාත්‍යධුරය මාරු වීමත් සමග ඒ විශ්වාසය ආපස්සට ගමන් කරන බව ඔහුගේ අදහසයි.

අතුරුදහන්වුවන් සම්බන්ධයෙන් ලබා දුන් පොරොන්දු ඉටු කිරීමදී විදේශ අමාත්‍ය ධුරයේ රැදී සිටි මංගල සමරවීරට පවා අපහසුතා ඇතිවනු දක්නට ලැබුන බවයි මානව හිමිකම් ක්‍රියාධරයා වැඩි දුරටත් ගගන හා කියා සිටියේ.

විශ්වාසය බිඳ වැටීම

රජය ලබා දුන් පොරොන්දු යම් ආකාරයකට ඉෂ්ට කිරීමට පියවර  ගෙන තිබුනත් ඒවා සම්පුර්ණ කිරීමට කටයුතු කර නොමැති හෙයින් අතුරුදහන් වුවන්ගේ පවුල් වල ඥාතීන්ට රජය කෙරෙහි පැවැති විශ්වාසය බිද වැටි ඇති බව බ්‍රිටෝ ප්‍රනාන්දු වැඩි දුරටත් සදහන් කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන එනු ලැබු යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා තවත් වසර දෙකක කාලයක් රජයට ලබා දී තිබීම රජයට හුස්ම ගැනීමේ පහසුවක් සලසා දීමක් ලෙස හදුන්වන ඔහු අවධාරණය කරන්නේ මංගල සමරවීරගේ අමාත්‍යධුරය මාරු වූවත් රජය ජාත්‍යන්තරයට ලබා දුන් පොරොන්දු ඉටු කළ යුතු බවයි.

පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද නමුත් මේතාක් ක්‍රියාත්මක කර නැති අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් (OMP) ක්‍රියාත්මක කරන ලෙස ද ඔහු රජයට බල කර සිටී.

යුද හමුදාවට භාර දීමෙන් පසු ආගිය අතක් සොයා ගන්නට නැති දහස් ගණනක් රඳවා ගෙන ඉන්නා තැන් පිළිබඳව විස්තර ලබා දෙන්නේ නම් ඒ පිළිබඳ සොයා බැලීමට තම සහාය ලබා දීමට සුදානම් බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පසුගියදා ගගන හා පැවසීය.

යුද හමුදාවට භාර දීමෙන් අනතුරුව අතුරුදහන් වූ දූ දරුවන් සොයා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මාසයක් කල් දෙන මෙන් රාජිත සේනාරත්න අමාත්‍යවරයා වව්නියාවේ සත්‍යග්‍රහයක යෙදී සිටින ඥාතීන්ගෙන් අප්‍රේල් මස මුලදී ඉල්ලා සිටියත් මේ දක්වා කිසිදු විසදුමක් ලබා දී නොමැත.

අතුරුදහන් වීම් පිලිබඳ සොයා බලන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුවට 1980 සිට ශ්‍රී ලංකාවෙන් වාර්තාවී තිබෙන නොවිසඳුණු අතුරුදහන් වීම් සංඛ්‍යාව 5750 කි. එය දෙවැනි වන්නේ ඉරාකයට පමණයි.

නොවැම්බරයේ ශ්‍රී ලංකාවට පැමිණි එම කමිටුවේ විශේෂඥ මණ්ඩලයට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාධාරීන් වාර්තා කළ පරිදි ආගිය අතක් නොමැති පුද්ගලයන් 22,000 කට වැඩි දෙනකුගේ තොරතුරු දේශීය වශයෙන් ලේඛණ ගතවී ඇත.

කෙසේ නමුත් පසුගිය සමයේදී පුද්ගල අතුරුදහන් වීම් 65000ක් පමණ සිදුව ඇති බවට අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ (OMP) කෙටුම්පත අනුමත කරමින් ශ්‍රී ලංකාවේ රජය විසින් පිළිගෙන තිබේ.

Related posts

Comments are closed.

Top