මුස්ලිම් හා ක්‍රිස්තියානි විරෝධී ප්‍රහාර ගැන පොලිසියට නැවතත් උපදෙස් | VIDEO

මාසයක පමණ කාලයක් තුලදී මුස්ලිම් සහ ක්‍රිස්තියානි ජනතාවට එරෙහිව දියත් කෙරුණු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් නීතිමය පියවර නොගන්නා බවට ආණ්ඩුව දේශීය හා විදේශීය වශයෙන් විවේචනයට ලක්වෙද්දී එම ප්‍රහාර වලට එරෙහි පියවර ගන්නා ලෙස බලධාරීන්ට උපදෙස් දී ඇති බව අගමැතිවරයා නැවත වතාවක් පවසයි.

කිසියම් ආගමකට, ජන වර්ගයකට විරුද්ධව ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන පුද්ගලයන්ට සහ වෛරය පැතිරවීමට ක්‍රියා කරන පුද්ගලයන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට  කැබිනට් මණ්ඩලය විසින් තීරණය කළ අතර  අවශ්‍ය වුවහොත් ඒ සඳහා නීති සම්පාදනය කිරීමට ද කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  පවසා ඇත්තේ අරලියගහ මන්දිරයේ දී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.

කැබිනට් මණ්ඩලය එම තීන්දුව ප්‍රකාශයට පත් කරන විශේෂ නිවේදනයක් මගින් පවසා ඇත්තේ ප්‍රචණ්ඩත්වය වැපිරීමේ අරමුණින් ඇතැම් පුද්ගලයන් විසින් සිදුකරන වෛරී ප්‍රකාශ ඇතුළු හිංසාකාරී ක්‍රියා, තරයේ හෙළා දකින බවයි.

එක්සත් ජාතීන්ගෙන් දොස්

ආගමික ස්ථාන, කඩසාප්පු හා ව්‍යාපාර ආයතන සහ නිවාස ඉලක්ක කරගෙන මෑතකදී එල්ල කෙරුණු ප්‍රචණ්ඩ ක්‍රියා ම්ලේච්ඡ ක්‍රියා ලෙස හඳුන්වමින් අමාත්‍ය මණ්ඩලය එම නිවේදනය නිකුත් කර ඇත්තේ දිවයිනේ නීතිය නිසියාකාර ක්‍රියාත්මක නොවන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් රජය දැඩි දෝෂ දර්ශනයට ලක් කිරීමෙන් අනතුරුවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 35 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාවේ විනිසුරුවන්ගේ හා නීතිවේදීන්ගේ ස්වාධීනත්වය පිළිබඳව සභාගත කරන ලද විශේෂ වාර්තාවකින් කියා තිබුනේ පොලිස් පරීක්ෂණ කිසිදු බරපතලකමකින් තොරව හෙමින් සීරුවේ කිරීම නිසා යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය බරපතල ලෙස අනතුරේ වැටී ඇති බවයි.

කෙසේ වෙතත්, අගමැතිවරයා අවධාරණය කරන්නේ ආගම් විරෝධී ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට උපදෙස් දී ඇති බවයි.

පරීක්ෂණ දිගටම

“මුස්ලිම් දේවස්ථාන කිහිපයකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය වෙත දැනුම් දී තිබෙනවා,” යැයි ද අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත “ඕනෑම ජන වර්ගයකට හෝ ආගමකට විරුද්ධව ක්‍රියා කරන්නේ නම්, ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන්නේ නම් එම පුද්ගලයන් සම්බන්ධයෙන් විභාග කොට අත් අඩංගුවට ගැනීමට හෝ උසාවිය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු කිසිවක් නතර කොට නැහැ.”

මුස්ලිම් දේවස්ථාන කිහිපයකට පහර දී ඇති බව ජනාධිපතිවරයා සඳහන් කළත් එයින් දිනකට පෙර ආරක්ෂක ලේකම්වරයා විසින් එම ප්‍රචණ්ඩ ක්‍රියා හඳුන්වන ලද්දේ ජනමාධ්‍ය විසින් මවන ආවේගශීලී ප්‍රවෘත්ති ලෙසයි.

ජනාධිපතිවරයා පසුගිය මාසය අගදී ප්‍රකාශ කර තිබුනේ රට තුළ අසමගිය වපුරන ජාතික සහ ආගමික ගැටුම් සංසිඳවීම සඳහා ඒ සඳහා සියලු ආගමික නායකයන් එකම වේදිකාවකට පැමිණිය යුතු බවයි.

Related posts

Comments are closed.

Top