මහ ඇමැති විග්නේශ්වරන්ට සහය දක්වා උතුරේ හර්තාල්

දුෂණ චෝදනා එල්ල වු පළාත් සභා නියෝජිතයන් හතර දෙනකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වු විශ්වාසභංග යෝජනාවට විරෝධය දක්වමින් උතුරු පළාතේ ප්‍රදේශ ගණනාවක හර්තාල් ව්‍යාපාරයක් දියත් කර තිබේ.

යාපනය,  කිලිනොච්චිය, මුලතිව් ආදී ප්‍රදේශ ගණනාවක කඩ සාප්පු වසා දමමින් කළු කොඩි ඔසවා 16 සිකුරාදා  හර්තාල් ව්‍යාපාරය දියත් කළ බවයි ගගන වාර්තාකරුවන් පවසන්නේ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන්ට  එරෙහිව පළාත් සභා නියෝජිතයන්  16 දෙනකුට වැඩි පිරිසකගේ අත්සන්වලින් යුතුව විශ්වාසභංග යෝජනාවක් 14 බදාදා ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ වෙත  බාරදී තිබුණි.

මහ ඇමතිවරයාට එරෙහිව  ආණ්ඩුකාරවරයාට භාරදුන් විශ්වාසභංග යෝජනාවත් සමග පළාත් සභාව තුළ බහුතර බලයක් ඇති බව තහවුරු කරන ලෙස මහ ඇමති සී.වී විග්නේශ්වරන්ට  ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ දන්වා සිටි බවද ගගන වාර්තාකරු පවසයි.

පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව භාර දුන් විශ්වාශභංගයට  විරුද්ධව පළාත්සභා නියෝජිතයන්  පහලොස් දෙනෙකුගේ  අත්සනින් යුත් පෙත්සමක් 15 බ්‍රහස්පතින්දා  උතුරුපළාත්  ආණ්ඩුකාර රෙජිනෝල්ඩ්  වෙතට භාර දීමට කටයුතු කර තිබුනේ උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් ඇතුළු  පිරිසක් විසිනි.

පෙත්සම භාර  දෙමින් අදාල මන්ත්‍රීවරුන් පිරිස උතුරරේ ආණ්ඩුකාරවරයාට දැනුම් දි ඇත්තේ  ඉදිරියට ද උතුරු පළාතට ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සී.වී.විග්නේශවරන්  අවශ්‍ය බවයි.

උතුරු පළාත් සභාවේ දූෂණ චෝදනා තහවුරු වූ අමාත්‍යවරුන් දෙදෙනකුට  සිය ධූරවලින් ඉල්ලා අස්වන  ලෙස පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඉල්ලා තිබුනේ   14  බදාදා දිනයි.

එලෙස ඉවත් වන ලෙස දැනුම් දී තිබුනේ, උතුරු පළාත් අධ්‍යාපන හා ක්‍රීඩා  අමාත්‍ය ටී. කුරුකුලරාසා සහ කෘෂිකර්ම සහ පසු සම්පත් සංවර්ධන අමාත්‍ය පොන්නුතුරෙයි අයින්ගරනේෂන් යන පළාත් සභා අමාත්‍යවරුන් දෙදෙනාටයි.

එමෙන්ම දූෂණ චෝදනා එල්ල වී සිටින ධීවර, ප්‍රවාහන සහ වෙළද අමාත්‍ය බී. ඩෙනිෂ්වරන් සහ සෞඛ්‍ය අමාත්‍ය බී සත්‍යලිංගම්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන්  විමර්ශන ක්‍රියාත්මක වන බැවින් ඔවුන් දෙදෙනාටද මාසයක කාලයක් නිවාඩු අයදුම් කරන ලෙස ද ප්‍රධාන අමාත්‍යවරයා දැනුම් දී තිබුණි.

 

Related posts

Comments are closed.

Top