හිදැස: උතුරු පළාත් සභාවේ දූෂණ, යුද අපරාධ පිලිබඳ වගකීම සහ සුළුතර විරෝධී ප්‍රහාර

උතුරු පළාත් සභිකයන්ට එදිරිව දිගින් දිගටම නැගුණු දූෂණ චෝදනා නිසාවෙන්, උතුරු පළාත් සභා මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් විසින් 2016 සැප්තැම්බර් මසදී ඒ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පරීක්ෂණ කමි‍ටුවක් පත් කරන ලදී. කවුන්සිලයේ සිටිනා සාමාජිකයින් සිවු දෙනකුට එරෙහිව එල්ලවූ  චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ මෙම පරීක්ෂණ කමි‍ටුව මගින් මහ ඇමැතිවරයා හට පසුගියදා සිය පරීක්ෂණ වාර්තාව ලබාදෙන ලදී. එහිදී ප්‍රමාණවත් සාක්ෂ්‍ය නොමැති නිසාවෙන් සාමාජිකයන් දෙදෙනකු චෝදනාවන්ගෙන් නිදහස් කෙරුණු අතර, කමි‍ටුවේ නිර්දේශය වූයේ උතුරු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමතිවරයා සහ අධ්‍යාපන ඇමතිවරයා වන ටී.කුරුකුලරාජා සහ පී.අයින්ගරනේසන් සිය තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බවයි. ඔවුන් වැරදිකරුවන් බවට තීරණය වූ චෝදනා ගණනාවක් අතර පාසල් දැරියකට සිදුකළ ලිංගික අපයෝජනයක් යට ගැසීම, පත්වීම් ලබාදීමේදී බලය අයුතු ලෙසින් භාවිතා කිරීම සහ පළාත් සභාවේ මුදල් අයුතු ලෙසින් පරිහරණය සහ පැවරීම යන චෝදනාවන් විණි.

මෙම කමි‍ටුවේ නිර්දේශ සමගින් විග්නේෂ්වරන් හට ‍රැඳී සිටින්නට සිදුවී ඇත්තේ මහත් අසීරුතාවයකට වේ. කමි‍ටුවේ නිර්දේශයන්ට අනුකූලව ක්‍රියාත්මක වුවහොත්, ඔහු විසින් අදාළ චෝදනාවන්ට අහිංසකයැයි කියමින් දිගින් දිගටම ආරක්ෂා කිරීමට කටයුතු කරනු ලැබූ ඔහුගේ විශ්වාසවන්ත ඇමැතිවරුන් දෙදෙනකු නැතිවී යනු ඇති අතර, ඒ මගින් උතුරු පළාත් සභාව තුළ ඔහුගේ බලය සැලකිය යුතු ලෙසින් දුර්වල කෙරෙනු ඇත. අනෙක් අතට කමි‍ටුවේ නිර්දේශ ඉවත ලෑම තුළින් ඔහුගේ විශ්වාසනීයත්වයට තදබල ලෙසින් පහර එල්ලවනු ඇත. එසේම ඔහු විසින් පළමු විකල්පය ‍තෝරාගත්තද නිරනුමානවම ඔහුටද ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවන්නේ, මහ ඇමැතිවරයා ලෙසින් ඔහු දරන තනතුරට අනුව ඔහුගේ ඇමැති මණ්ඩලයේ ක්‍රියා සම්බන්ධයෙන් ඔහුටද පාර්ශ්වීයව හෝ වගකීමක් පැවරෙන බැවිනි.

ජාතිකවාදී දමිළ පුවත්පත් මගින් මෙම ගැටළුවේ බැරෑරුම් භාවය ලිහිල් කොට පෙන්වීමට උත්සාහ දරා තිබුණේ, (අ) මහ ඇමැතිවරයාට විරුද්ධවාදී කමි‍ටු සාමාජිකයින් සිටිනා බව ව්‍යංගයෙන් හැඟවීම තුළින්, (ආ) පරීක්ෂණ කමි‍ටුවේ සාමාජිකයින්ගේ විශ්වාසනීයත්වයට පහර එල්ල කිරීමෙන් සහ (ඇ) වාර්තාවේ විෂමතාවයන් පෙන්වාදීම යන කරුණු ඔස්සේ සමස්ත කමි‍ටු පරීක්ෂණයම නීත්‍යානුකූල නොවන බව හැඟවීම තුළිනි. කෙසේ නමුත් මෙම උත්සාහයන් තුළදී මෙම පුවත්පත් මගින් දක්ෂ ලෙස මග හැර තිබූ කරුණ වූයේ, මෙම චූදිත ඇමැතිවරුන්ව ප්‍රසිද්ධියේම ආරක්ෂා කිරීමෙන් පසුව මහ ඇමැතිවරයා විසින්ම මෙම කමි‍ටුව පත් කරනු ලැබුවේය යන්නයි.

තවදුරටත්, මධ්‍යම රජයේ විනිවිදභාවයක් නොමැති වීම සහ වැරදි වලට විපාක නොලබා හිඳීම දැඩිව හෙළා දකින්නට යෙදුණු දමිළ දේශපාලන තීරු ලිපි රචකයින්, මහ ඇමැතිවරයා විසින් මෙම වාර්තාවේ ඇති කරුණු ප්‍රසිද්ධ කිරීම ප්‍රතික්ෂේප කිරීම හෝ ඔහුගේ කවුන්සිලය තුළ වූ දූෂණයට එරෙහිව ස්ථිර ක්‍රියාමාර්ග ගැනීමට අකමැත්ත පෙන්වීම යන කරුණු සම්බන්ධයෙන් සැලකිය යුතු තරමේ මෘදු විවේචනයක් එල්ල කර සිටි බව නිරීක්ෂණය විණි. මේ අතර සිංහල පුවත්පත් මගින් මෙම සිදුවීම වාර්තා කොට තිබුණේ ප්‍රවෘත්තියක් ලෙසින් පමණි.

රජයේ ක්‍රියාකාරකම් තක්සේරු කිරීමේදී එකිනෙකට වෙනස් මිනුම් දඬු

සිංහල මෙන්ම දමිළ පුවත්පත් මගින් සම්පූර්ණයෙන්ම වෙනස් උපමාන යොදා ගනිමින් රජයේ කාර්ය සාධනය තක්සේරු කරන්නට යෙදිණි.

දමිළ පුවත්පත් තුළ රජය මෙතෙක් ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කෙරී තිබුණේ (අ) සිදුවූයේ යැයි කියනා යුද අපරාධ සම්බන්ධයෙන් වගකීම් පැවරීම, (ආ) වාර්ගික අර්බුදය වෙත දේශපාලන විසඳුමක් හරහා ආමන්ත්‍රණය කිරීම, (ඇ) පුද්ගලික ඉඩම් ඒවායේ හිමිකරුවන්ට ලබාදීම හා හමුදා ඉවත් කිරීම මෙන්ම (ඈ) වාර්ගිකආගමික සුළුතර ප්‍රජාවන් වෙත එල්ලවන අන්තවාදය සහ ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම යන කරුණු සලකා බලමිනි. මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් සිංහල පුවත්පත් සිය අවධානය යොමුකොට තිබුණේ දූෂණයට එරෙහි රජයේ වැඩකොටස සහ රජය මගින් විධායක ජනපති ක්‍රමය විෂයෙහි පොරොන්දු වූ ව්‍යවස්ථා සංශෝධනයන් වෙතය.

මෙසේ සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් ප්‍රමිතීන් හා උපමානයන් හරහා මෙම තක්සේරු කිරීම සිදුවූවත්, දමිළ පුවත්පත් සහ සිංහල පුවත්පත් යන දෙකොටසම එළැඹ තිබුණේ සමාන තීරණයකට වූ බවද දක්නට ලැබිණි. එනම් රජයේ කාර්ය සාධනය තෘප්තිමත් විය නොහැකි මට්ටමක ඇති බවටයි.

 

කාටූනය සඳහා අනුග්‍රහය: වීරකේසරී 

දමිළ-මුස්ලිම් සබඳතා

නැගෙනහිර පළාතේ මෑතකදී සිදුවූ සිදුවීම් ද්විත්වයක් – එනම් මුතූර් හි දමිළ පාසැල් දැරියන් තිදෙනකු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදුවීම සහ ත්‍රීකුණාමලයේ පෙරියකඩෛ ජුම්මා පල්ලියට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම – සැලකූ විට, දමිළ-මුස්ලිම් සබඳතාවයන්ගේ තත්වය සම්බන්ධ සාකච්ඡාවන් දමිළ පුවත්පත් තුළ පැන නැගිණි. මෙම ලිංගික අපයෝජන සිදුවීමේ සැකකරුවන් ලෙසින් මුස්ලිම් තරුණයන් පස් දෙනකු නම් කෙරුණු අතර, පල්ලියට ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ධ යැයි සැක පිට පොලිසිය මගින් දමිළ ජාතිකයකු අත් අඩංගුවට ගෙන තිබිණි.

මෙම සිදුවීම් ද්විත්වය මගින් මෙම වාර්ගික කණ්ඩායම් දෙක අතර අධිකතර ආතතිජනක තත්වයක් නිර්මාණය කොට තිබිණි. මෙම ලිංගික අපයෝජන සිදුවීම හෙළිදරවු වීමත් සමගින් දමිළ ප්‍රජාව ඒ සඳහා විරෝධතාවය දැක්වූ අතර, වීරකේසරී තීරු ලිපියකින් නිරීක්ෂණය කරන්නට යෙදුණු පරිදි බොහෝ විට සමස්ත මුස්ලිම් ප්‍රජාවම නරක චිත්‍රයක් තුළින් දක්වා තිබිණි. මීට සමාන ලෙසින්ම යම් යම් මුස්ලිම් කණ්ඩායම් මගින් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව දියත්වන සිංහලදමිළ කුමන්ත්‍රණයක් ඇති බැව් යෝජනා කිරීමට ඉක්මන්ව තිබුණේ උක්ත බෝම්බ සිදුවීම සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගත් දමිළ ජාතිකයා සැබවින්ම වරදකරු බව සනාථ වීද නොමැති අවස්ථාවකදී වේ.

පසුවූ සති කිහිපය තුළදී ද්විභාෂා පුවත් අතර ප්‍රමුඛ අවධානය ලබාගැනීමට බොදුබල සේනා වැනි මුස්ලිම් විරෝධී සිංහල බෞද්ධ උග්‍ර අන්තවාදී කණ්ඩායම් සමත්ව තිබිණි. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ජනවර්ග අතර වන ගැටළු බහුතරවාදී ආධිපත්‍යය නිසා පමණක් සිදුවන යමක් වැනි සරල ගැටළුවක් නොවන බවට ප්‍රතිආඛ්‍යානයක්ද මෙම දැඩි ආතතියකට ලක්වූ දමිළ-මුස්ලිම් සම්බන්ධතා මගින් සැපයූ අතර, ඊට අමතරව වෙනස් වෙනස් වාර්ගික කණ්ඩායම් අතර ඇති අවිශ්වාසය සහ ප්‍රමාණවත් සංවාදයක් නොමැති කම වැනි පොදු ගැටළුව මෙහිදී අවධාරණය කෙරී තිබිණි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, මෙම පීඩනකාරී තත්වය තවදුරටත් නැගී යාම වැළැක්වීම සඳහා එකම භාෂාවක් කතා කරනා, එකම පළාතක එකට ජීවත් වන වාර්ගික කණ්ඩායම් දෙකක් වන දමිළ සහ මුස්ලිම් නායකයන් සඳහා සමථ සාකච්ඡාවක් සංවිධානය කිරීමටත්, ඔවුන් ඊට කැඳවීමටත් සිදුවූයේ සිංහල කථාකරනා පිටස්තරයකු වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දුටය.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

 

Related posts

Comments are closed.

Top