ක්‍රිස්තියානි විරෝධී ප්‍රහාර ගැන ජනපතිට, අධිකරණ ඇමැතිට දොස් | VIDEO

මුස්ලිම් හා ක්‍රිස්තියානි විරෝධී ජාතිවාදී ප්‍රහාර වලට වගකිවයුත්තන් අත් අඩංගුවට ගැනීම වෙනුවට එම තොරතුරු හෙළිදරව් කරන්නන් දඩයම් කිරීමට රජයේ ඉහලම බලධාරීන් පියවර ගනිමින් සිටීම ආගමික සංවිධාන, සිවිල් සමාජ සංවිධාන සහ වාමාංශික නායකයන් විසින් හෙලා දැක තිබේ.

මේ ආණ්ඩුවේ නායකත්වය දරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බලයට පත්වූ දා සිට දියත් කරන ලද එකසිය අනුවකට වැඩි ක්‍රිස්තියානි විරෝධී ප්‍රහාර ගැන රූපවාහිනී සාකච්ඡාවකදී කතා කළ මානව හිමිකම් නීතිඥ ලක්ෂාන් ඩයස් ට එරෙහිව ජනාධිපති, අධිකරණ ඇමැති සහ කොළඹ අගරදගුරු විසින් ප්‍රසිද්ධියේ කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන  ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානය  (NCEASL) නීතිඥ වරයාගේද සුළුතර ආගමික ප්‍රජාවේද ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්නා මෙන් රජයෙන් ඉල්ලා සිටී.

ක්‍රිස්තියානි ආයතන වලට පහර දීම පිළිබඳ හෙළිදරව්ව කළේ තමන් විසින් එක්රැස් කරගන්නා ලද තොරතුරු වලින් බව පෙන්වා දෙන  NCEASL සංවිධානය නීතිඥ ලක්ෂාන් ඩයස්ට පූර්ණ සහාය පළකර සිටී.

නීතිඥවරයාගේ හෙළිදරව්ව “රට නොසන්සුන් කිරීමේ” අරමුණින් සිදුකරන ලද්දක් බවට චෝදනා කරමින් ජනාධිපති වරයා කියා සිටියේ මේ අවුරුද්ද තුල කතෝලික දේවස්ථාන එක්සසිය ගණනකට පහර දුන්නේ යයි ප්‍රකාශයට පත් වුනු බවයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි 166කට පසුගිය මාස කිහිපයේ පහර දීලා තියෙනවා යයි “රටටම ඇහෙන්න, ලෝකෙටම ඇහෙන්න,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහනුවර අස්ගිරිය පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවයකදී චෝදනා කළේය.

නූගත් මෝඩයන්

ඒ සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත්ගෙන් ජනාධිපතිවරයා විසින් විමසන ලද අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ කතෝලික දේවස්ථාන වලට පහර දීමක් සිදුවූයේ නැති බවයි.

එයම ප්‍රතිරාවය කරමින් අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුනේ ලක්ෂාන් ඩයස් නීතිඥ වෘත්තියෙන් පහ කිරීමට පියවර ගන්නා බවයි.

ලක්ෂාන් ඩයස්ගේ හෙළිදරව්ව පිළිබඳව කාදිනල් වරයාගෙන් විමසීම කිතුනු සභා වල ඇති බෙදීම් පිලිබඳ සංවේදී භාවයකින් තොරව ජනාධිපතිවරයා කරන ලද කටයුත්තක් ලෙසින් දැඩි හෙලා දැකීමට ලක්ව තිබේ.

රාජපක්ෂ අමාත්‍යවරයා තමන්ගේ තොරතුරු ලබාගැනීමේ මුලාශ්‍ර පුළුල් කරගත යුතු බව පෙන්වා දෙන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිවේදනයක් මගින් ඉල්ලා ඇත්තේ මානව හිමිකම් ක්‍රියාධරයන්ට තර්ජනය කිරීමෙන් වලකින ලෙසයි.

එවන් තර්ජන පසුගිය රාජපක්ෂ පාලනයේ නරක පුරුද්දක් ලෙස අවධාරණය කරන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ලක්ෂාන් ඩයස්ගේ ආරක්ෂාව සහතික කරන ලෙස රජයට බලකර සිටී.

ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා කටයුතු කර ඇත්තේ “නූගත් මෝඩයන්” ලෙසින් බවයි නව සමසමාජ නායක වික්‍රමබාහු කරුණාරත්න පවසන්නේ.

ක්‍රිස්තියානි මධ්‍යස්ථාන වලට එල්ලවූ ප්‍රහාර පිලිබඳ තොරතුරු ලිඛිතව ලබා දී තිබියදීත් ජනාධිපතිවරයා ඒ විස්තර කියවා නැති වීම ඔහුගේ බලවත් විවේචනයට ලක්විය.

කතෝලික නොවන ක්‍රිස්තියානි මධ්‍යස්ථාන වලට එල්ලවූ පහරදීම් ගැන පාප් වහන්සේගේ නියෝජිතයාගෙන් විමසීම “යුදෙව් පුජකයන් කී දේ පිළිගෙන යේසුස් වහන්සේ ඇණ ගැසූවාක්” වැනි ක්‍රියාවක්  ලෙස ආචාර්ය වික්‍රමබාහු විසින් හඳුන්වන ලදී.

 

Related posts

Comments are closed.

Top