අධිකරණ ඇමැතිගේ ලක්ෂාන් ඩයස් විරෝධී තර්ජනය “ඉල්ලා අස් කර ගනු”

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බලයට පත්වූ දා සිට දෙසියයකට ආසන්න කිතුනු විරෝධී ප්‍රහාර මාලාවක් දියත්වූ බව හෙළිදරව් කළ ප්‍රමුඛ පෙලේ මානව හිමිකම් නීතිඥ වරයකු වෘත්තියෙන් පලවා හැරීමට පියවර ගන්නා බවට අධිකරණ අමාත්‍යවරයා කළ ප්‍රකාශයට එරෙහිව දෙස් විදෙස් කෝපය මතුවී තිබේ.

ආගමික සුළුතර කණ්ඩායම් වලට එරෙහිව දියත්වන ප්‍රචණ්ඩ ක්‍රියා නැවත්වීමට රජය පියවර නොගැනීම ගැන කතාකළ ලක්ෂාන් ඩයස් නීතිඥවරයාගේ රැකියාව අහිමි කිරීමට අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රසිද්ධියේ කළ තර්ජනය හෙලා දකිමින් දැඩි ප්‍රකාශයක් නිකුත් කරන හියුමන් රයිට්ස් වොච් (HRW) සංවිධානය එම තර්ජනය වහාම ඉල්ලා අස් කර ගැනීමට පියවර ගන්නා ලෙස ආණ්ඩුවට බලකර සිටී.

ආණ්ඩුව පියවර නොගැනීම

මුද්ධ බහුතරයකින් යුත් රටක මුස්ලිම්වරුන්ට හා කිතුනුවන්ට එරෙහිව මෑත සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකොට වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒමට ආණ්ඩුව පියවර නොගැනීම මෙම සිද්ධිය මැනවින්  විදහා දක්වන බව HRW පවසයි.

“බරපතල අවදානම් වලට මුහුණ පා සිටින ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මුල් පෙලේ මානව හිමිකම් නීතිඥ වරයකු වන ලක්ෂාන් ඩයස් ට අඩන්තේට්ටම් කිරීමට අධිකරණ අමාත්‍ය රාජපක්ෂ දරන උත්සාහය වහාම නවතා දැමීමට ආණ්ඩුව පියවර ගත යුතුය,” යි HRW ආසියා කලාපීය අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් ප්‍රකාශ කරයි. “ඩයස්ගේ නීතිඥ බලපත්‍රය ඉවත් කිරීමට තර්ජනය කිරීම මගින් ආණ්ඩුව කර ඇත්තේ ඔහු ඇතුළු වෙනත් හිමිකම් රකින්නන් ගේ සරණ පතා සිටින ආන්තික වූ කණ්ඩායම් හැමෙකක්ම තර්ජනයට ලක් කිරීමයි.”

ජාත්‍යන්තර බලපෑම

අධිකරණ අමාත්‍යවරයා කළ තර්ජනය සම්බන්ධයෙන් ආණ්ඩුව පියවර නොගන්නේ නම්, එය ජාත්‍යන්තර වශයෙන් ද බලපෑම් කරනු ඇති බවට HRW අනතුරු අඟවා තිබේ.

“ප්‍රහාරයට ලක්වූ ප්‍රජාවක් වෙනුවෙන් එළිපිට කතාකිරීම නිසා මුල් පෙලේ මානව හිමිකම් නීතිඥයකුගේ බලපත්‍රය අහෝසි කිරීමට අධිකරණ අමාත්‍යවරයා කළ තර්ජනය හමුවේ ආණ්ඩුව අක්‍රියව සිටීම ශ්‍රී ලංකාවෙන් එපිටටත් ප්‍රතිරාව නංවනු ඇත,” යි බ්‍රැඩ් ඇඩම්ස් පවසයි. “ආණ්ඩුවේ ප්‍රතිචාරය පිළිබඳව ඉතා විමසිල්ලෙන් බලා සිටින බව ශ්‍රී ලංකාවේ මිත්‍රයන් පැහැදිලිවම කියා පෑ යුතුය.”

මාසයක පමණ කාලය තුලදී මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආයතන ගණනාවක් සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ බවට සැක කෙරෙන ප්‍රහාර වලට ලක්වී තිබීම සම්බන්ධයෙන් නීතිමය පියවර නොගන්නා බවට ආණ්ඩුව දේශීය හා විදේශීය වශයෙන් විවේචනයට ලක්වෙද්දී එම ප්‍රචණ්ඩ ක්‍රියා වලට එරෙහි පියවර ගන්නා ලෙස බලධාරීන්ට උපදෙස් දී ඇති බව අගමැතිවරයා මෑතදී මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබුනි.

එයින් දින කිහිපයකට පසු පොලිසිය කියා තිබුනේ බෞද්ධ භික්ෂුවක් සහ පොලිස් නිලධාරියකු ඇතුළු දාහතර දෙනකු ආගම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන තිබෙන බවයි.

Related posts

Comments are closed.

Top