විරෝධය නොතකමින් බලු මස් සැණකෙළිය මෙවරත් චීනයේදී

චීනයේ යුලින් හි වාර්ෂිකව පැවැත්වෙන මතභේදකාරී සුනඛ මාංශ උත්සවය මෙවර ද ආරම්භ වී ඇත.

ඒ එම උත්සවය මේ වසරේ දී අවලංගු කර හෝ තහනම් කර ඇතැයි පැතිර ගිය කටකතා අසත්‍ය ආරංචි බවට පත් කරමිනි.

“ද ලීශ් ඇන්ඩ් ඩෝග් මීට් ෆෙස්ටිවල්” නමින් හැඳින්වෙන සැණකෙළිය වාර්ෂිකව චීනයේ ගුවැන්ග්ෂි පළාතේ පැවැත්වේ.

සුනඛ මාංශ විකිණීම සිදු නොකරන ලෙසට බලධාරීන් විසින් වෙළෙන්දන් දැනුවත් කළේ යැයි මෙම වසර ආරම්භයේදී ඇමරිකා එක්සත් ජනපද ක්‍රියාකාරීන් පවසා තිබුණි.

කෙසේ නමුත් සැණකෙළියේ වෙළඳ කුටි හිමි තැනැත්තකු BBC පුවත් සේවය වෙත පවසා සිටියේ තමන්ට ඒ සම්බන්ධව කිසිදු නිළ දැනුම් දීමක් ලබා නොදුන් බවයි.  නගර බලධාරීහු ද තහනමක් නොමැති බව තහවුරු කළහ.

21 බදාදා වනවිට ඝාතනය කළ සුනඛයන් මස් කොකු වල එල්ලා සිටිනු දැකිය හැකි බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එසේම උත්සවය පැවැත්වෙන ස්ථානයේ මාර්ගවල පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් දක්නට ඇති බව ඔවුන් සඳහන් කරයි.

සුනඛ මාංශ අනුභව කිරීම චීනය තුළ තහනම් නැති මුත් සෑම වසරකම් පැවැත්වෙන මෙම සැණකෙළිය දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් විරෝධයට ලක් වේ.

චීන සහ දකුණු කොරියානුවන් සුනඛයන් ආහාරයට ගැනීමේ සම්ප්‍රදායට වසර 500 ක පමණ ඉතිහාසයක් ඇතත් උක්ත සැණකෙළියට ඇත්තේ වසර කිහිපයක් පැරණි ඉතිහාසයක් පමණි.

Related posts

Comments are closed.

Top