ශ්‍රී ලංකාවේ අලුත් ආණ්ඩුව යටතේත් වධ හිංසා සිදු කෙරෙන බවට චෝදනා

 

Dylan Welch with torture victim

ඩයිලන් වෙල්ච් වධයට පත් ලාංකික මාධ්‍යවේදියා සමග

මෛත්‍රිපාල සිරිසේන පාලනය යටතේත් අත් අඩංගුවේ දී  වධ හිංසා පමුණුවන බවට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් චෝදනා කරන අතර එවැනි මානව හිමිකම් උල්ලංඝන වලට  සහාය වෙමින්  ඕස්ට්‍රේලියා රජය ශ්‍රී ලංකාවට ආධාර කොට ඇති බව එරට ප්‍රධාන රුපවාහිනී සේවාවක් හෙළි කොට ගෙන තිබේ.

හිංසනයට පත්වූවන්ගේ අයිතිය වෙනුවෙන් කටයුතු කරන වධ හිංසාවෙන් නිදහස හෙවත් Freedom From Torture (FFT) සංවිධානය පවසන්නේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ශ්‍රී ලාංකික රාජ්‍යයේ තවත් ආයතන විසින් වධ දීම දිගටම සිදුකරන බවයි.

අධි තාක්ෂණික ආම්පන්න

සෝනියා ස්කේට්ස්

සෝනියා ස්කේට්ස්

රජයේ විරුද්ධවාදීන් දඩයම් කිරීමට යොදා ගන්නා ආම්පන්න ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් ශ්‍රී ලංකාවේ රහස් පොලිසියට 2009 පටන්  දෙන ලද බව හෙළි කරමින් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන ABC රුපවාහිනිය විකාශනය කළ වැඩ සටහනකට එක්වෙමින් FFT සංවිධානයේ අධ්‍යක්ෂ වරියක් වන සෝනියා ස්කේට්ස් ප්‍රකාශ කළේ වධ හිංසා පැමිණවීම ශ්‍රී ලංකා රහස් පොලිසියේ ක්‍රියාකාරකම් වල ‘ආවේනික අංගයක්’ බවයි.

අත්අඩංගුවේදී ලිංගික අඩන්තේට්ටම් ඇතුළු අමානුෂික වධ බන්ධනයට ලක්වූ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදියකු බව පවසන අයකු ඇතුළු දෙමළ බසින් කතා කළ දෙදෙනකු ගේ තුවාල කැලලි ද ABC රුපවාහිනී වැඩ සටහන ඔස්සේ පෙන්වන ලදී.  එම මාධ්‍යවේදියා 2010 සහ 2012 අතර කාල සීමාවේදී රටේ පැවති මර්දනය ඡායාරූප ගත කළ බවත් ඔවුන් හට දෙන ලද ලිංගික වද වේදනා මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළ නොහැකි තරම් දරුණු බවත් ABC යේ ගවේෂනාත්මක මාධ්‍යවේදී ඩයිලන් වෙල්ච් ප්‍රකාශ කළේය.

වෙල්ච් විසින් හෙළිදරව් කර ගෙන ඇති පරිදි ඕස්ට්‍රේලියා පොලිසිය ශ්‍රී ලංකාවට සපයා ඇති ආම්පන්න අතර දුරකථන වලට සවන් දීමට, ඊමේල් සහ කෙටි පණිවිඩ කියවීමට මෙන්ම පුද්ගලයන් යන එන තැන දැනගැනීමටද හැකි අධි තාක්ෂණික උපකරණ වෙයි.

ඕස්ට්‍රේලියාවෙන්  සුදු වෑන්

ඊට අමතරව 2011 දී නිසාන් උර්වාන් වර්ගයේ සුදු වෑන් එකක්ද ශ්‍රී ලංකාවේ රහස් පොලිසියට ලබාදී ඇති බව ABC හෙළිදරව්වෙන් කියවෙයි.

බ්රූස් හේග්

බ්රූස් හේග්

විස්තර ලබා දෙන ලෙස ඉල්ලා වසර හතරක් තිස්සේ දිගින් දිගටම කරන ලද ඉල්ලීම් අසාර්ථක වූ තැන තොරතුරු දැන ගැනීමේ අයිතිය යොදා ගෙන තමන් මේ කරුණු හෙළි කරගත් වගයි මාධ්‍යවේදී වෙල්ච් ප්‍රකාශ කරන්නේ.

ශ්‍රී ලංකාවේ පොලිසියට ඕස්ට්‍රේලියාව විසින් ලබාදී ඇති  ආම්පන්න විරුද්ධවාදීන් මර්දනය සඳහා යොදා ගැනීම සිදු කෙරෙනු ඇති බව ABC වැඩ සටහනට එක්වූ හිටපු ඉහල පෙලේ තානාපති නිලධාරියකු පැවසීය.

1994 ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස්  බ්රූස් හේග් ප්‍රකාශ කළේ පුද්ගලයන් පැහැරගෙන, හතරවැනි තට්ටුවට ගෙන ගොස් වදහිංසා පමුණුවමින් ප්‍රශ්න කොට බොහෝ විටදී විනාශ කර දමන්නටද මේ ආම්පන්න යොදා ගත හැකි බවයි.

සුදු වෑන් වලින් රැගෙන යනු ලබන පුද්ගලයන් නැවත පවුලේ අයට දකින්නට නොලැබෙන අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ‘ලෝකය පුරා නම්දරා ඇති’ බව බ්රූස් හේග් වැඩිදුරටත් පැවසුවේය.

මුහුදු මගින් ලාංකිකයන් සරණ සොයා ඒම වලක්වා ලීම සඳහා ඇති කරගත් ගිවිසුමක් යටතේ 2009 සිට මේ දක්වාම ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට මෙම ආධාර සපයා ඇත.

මේ සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවකට එක්වන ලෙස ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණු බව ABC රුපවාහිනිය පවසයි.

Related posts

Comments are closed.

Top