අධිකරණ ඇමැති ප්‍රකාශය ජනතාව කුපිත කිරීමක් | VIDEO

රූපවාහිනී වැඩ සටහනක් තුලදී  මානව හිමිකම් නීතිඥ වරයකු සිදු කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් ඔහු නීතිඥ වෘත්තියෙන් පලවා හැරීමට පියවර ගන්නා බවට අධිකරණ අමාත්‍යවරයා කළ තර්ජනය හේතුවෙන් මිනිසුන් කුපිත වී  රටේ ප්‍රශ්න නිර්මාණය විය හැකි බව ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාව පවසයි.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මීට වඩා වගකීමෙන් යුතුව ප්‍රකාශ නිකුත් කළ යුතු බවයි ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාවේ මහානායක ආසිරි පී. පෙරේරා බිෂොප්තුමා පවසන්නේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බලයට පත්වූ දා සිට 196 ට  ආසන්න කිතුනු විරෝධී ප්‍රහාර මාලාවක් දියත්වූ බවට නීතිඥ ලක්ෂාන් ඩයස් රූපවාහිනී වැඩ සටහනක් තුලදී  සිදු කළ ප්‍රකාශය සත්‍ය අතර ඒ සදහා අවශ්‍ය තොරතුරු ඔහු සතු බවද ආසිරි පී. පෙරේරා බිෂොප්තුමා පෙන්වා දෙයි.

පසුගිය වසර 10ක පමණ කාලයක සිට  දේශය වෙලාගත් අන්ත ජාතිවාදී හා ආගම්වාදී රැල්ල ගැන කණගාටු  ප්‍රකාශ කරන ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාව පෙන්වා දෙන්නේ 2015 දී සිදුවුනු යහපාලන රජය බිහිවීමත් සමග එම රැල්ල අකර්මන්‍ය වෙතැයි  අපේක‍ෂා කළ බවයි.

ජනාධිපතිතුමාගේ සහ රජයේ යථා දර්ශනය නිසා මෙය බොහෝ දුරට සමනය  වු නමුත් මෑතක සිට අවාසනාවකට මෙන් එම ප්‍රවණතාවය නැවත හිස ඔසවා එන බවක් නිරීක‍ෂණය වු බව  නිවේදනයක් නිකුත් කරමින්   ආසිරි පී. පෙරේරා බිෂොප්තුමා පෙන්වා දෙයි.

එම ආගමික අන්තවාදී කණ්ඩායම් විසින් මෙතොදිස්ත සභිකයන්ගේ නමස්කාර කිරීමේ නිදහසට බාධා කළ අවස්ථා එමට වන අතර එයට උදාහරණ කිහිපයක් ලෙස  දෙණියාය, හබරණ, පිළියන්දල හා කැකිරාව හිනිදුම වැනි සභාවල සිදුවු  දෙයින් දැක ගත හැකි බව බිෂොප්තුමා සදහන් කරයි.

එම ස්ථාන වලදී චීවරධාරීන් කිහිපදෙනෙකු ප්‍රමුඛ කොටගත් පිරිස් විසින් මෙතොදිස්ත  සභිකයන්ගේ නමස්කාරයට බාධා පමුණුවා ඇති බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

එවැනි අවස්ථා වල  මෙතොදිස්ත  සභිකයන්ගේ  අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකළ නීතිඥවරුන් කිහිපදෙනා අතුරින් නීතිඥ ලක්ෂාන් ඩයස් ද ප්‍රමුඛව ක්‍රියාකළ අයෙක් වන අතර  ලොව පිලිගත් මානව හිමිකම් ක්‍රියාධරයෙකු වන ඔහු ඉහත හේතුව නිසා නීතිඥ වෘත්තියේ යෙදීමට බාධා පැමිණවීම තුළින් සිදුවන්නේ ලොව ඉදිරියේ අප රට අපකීර්තියට පත්වීමක් බව බිෂොප් ආසිරි පී. පෙරේරා සිය නිවේදනය මගින් අවධාරණය කරයි.

අනාදිමත් කාලයක සිට සිදු වූ පරිදි සියළු ආගමිකයන්ට තම ආගම නිදහසේ ඇදහීමට සුදුසු වාතාවරණයක් තව දුරටත්  රටතුළ පවතීවායි ප්‍රාර්ථනා කරන ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාව  කිතුණු අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ ලක්ෂාන් ඩයස්ගේ නීතිඥ වෘත්තියට බාධා කිරීමට ඇතැම් අය දරන උත්සාහය ද හෙලා දකී.

දැනට ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාව දිවයින පුරා ව්‍යාප්තව පවත්නා අතර දේවස්ථාන 300 කට වැඩි ප්‍රමාණයක  සභිකයන් නමස්කාර කරන බවද ශ්‍රී ලංකා මෙතොදිස්ත සභාව පවසයි.

කතෝලික නොවන ආයතන වලට එල්ල වන ප්‍රහාර සම්බන්ධයෙන් කොළඹ කතෝලික රදගුරු මැල්කම් රංජිත්ගෙන් ලබාගත්  නොමග යවන සුලු තොරතුරු මත පදනම් වී ජනාධිපතිවරයාත් අධිකරණ අමාත්‍යවරයාත් මානව හිමිකම් නීතිඥ ලක්ෂාන් ඩයස්ට විරුද්ධව තර්ජනාත්මක ප්‍රකාශ කිරීම දේශිය හා ජාත්‍යන්තර වශයෙන් දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ.

Related posts

Comments are closed.

Top