මංජුල හා ලක්ශාන්ත රිදීයෙන් පිදේ

ශ‍්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය විසින් මේ වසරේ සිට අරඹන ලද නවතම සාහිත්‍ය සම්මාන උත්සවය වු “රජත සම්මාන උළලේ” වසරේ හොඳම කෙටි කතාව ලෙස මංජුල වෙඩිවර්ධන විසින් රචිත “දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ කතා” කෘතිය සම්මානයට පාත්‍ර වී තිබේ.

වසරේ හොදම කාව්‍ය නිර්මාණය ලෙස සම්මානයෙන් පිදුම් ලබා ඇත්තේ ලක්ෂාන්ත අතුකෝරල විසින් රචිත “සමහර කමටහන්” නැමැති කාව්‍ය කෘතියයි.

රජත සම්මාන උළෙල පසුගියදා උත්කර්ශවත් අන්දමින් පවත්වා ඇත්තේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යයන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදීය.

හොදම කෙටිකථා නිර්මාණය වෙනුවෙන් පිදෙන සම්මාන කුසලානය සහ රුපියල් දෙලක්ෂ පනස් දහසක ත්‍යාග මුදල පිරිනැමෙන අතර ඔහුට හිමි ත්‍යාග මුදල ඔහුගේ පියාණන් වන විජේසිරි වෙඩිවර්ධනට පිරිනමා ඇත.

එසේම කාව්‍ය නිර්මාණ කෘතිය සදහා වූ ජයග‍්‍රාහි සම්මාන කුසලානය සහ රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ත්‍යාගය සම්මාන ලාභී ලක්ෂාන්ත අතුකෝරලට පිරිනමා ඇත්තේ අමාත්‍ය සරත් අමුණුගම විසිනි.

හොදම කෙටිකථා ලෙස නිර්දේශිත අනෙක් කෘති වන්නේ එරික් ඉලයප්පාරචිචිගේ බැග්ඩෑඩි, සමරසිංහ ගුණසේකරගේ කාලිදාස කල් ඉකුත් වී ඇත හා ජයතිලක කමිමැල්ලවීරගේ එකොළහය.

කාව්‍ය නිර්මාණ නිර්දේශිත කෘති වෙනුවෙන් එරික් ඉලයප්පාරචිචිගේ කපුටා සහ සිටාණෝ, නදුන් යසිත දසනායකගේ විල් නෙතක මල් මතක සහ අනුරාධා නිල්මිණිගේ මදහසක මැදියම කාව්‍ය ග‍්‍රන්ථ සදහා රුපියල් 50,000 ක මුදල් ත්‍යාග සහ සම්මාන සහතික පිරිනමා ඇත.

මෙම කෙටිකථා විනිශ්වය කරමින්, එහි උත්තරීතර මණ්ඩලය ලෙස මහාචාර්ය සෝමරත්න බාලසූරිය, විමලනාත් වීරරත්න, නීල් විජේර්ත්න සහ පාදක මණ්ඩලය ලෙස විකුම් ජිතේන්ද‍්‍ර, හේමන්ත අරුණසිරි, ජයසිරි අලවත්ත, ඒ.ඩී. රංජිත් කුමාර, මිහිර අරවින්ද, නිමල් ඒකනායක හා එචි.ඩී.එස්. මල්කාන්ති සහභාගි වී තිබේ.

කාව්‍ය ග‍්‍රන්ථ විනිශ්වය මණ්ඩලය නියෝජනය කරමින් එහි උත්තරීතර මණ්ඩලය ලෙස ලාල් හෑගොඩ, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ පාදක මණ්ඩලය ලෙස කුලරත්න ආරියවංශ, ශාන්ත කුමාර විතාන, රවී සිරිවර්ධන, ගීතනාත් කුඩලිගම, පද්මිණි මාතරගේ, කුසුම්සිරි විජේවර්ධන සහ පුෂ්පා ඉලංගන්තිලක සහභාගි වී ඇත.

කෙටිකථා හා කාව්‍ය ග‍්‍රන්ථ අතරින් උසස්ම නිර්මාණ ගුණයෙන් හෙබි කෘති අගයමින් එම නිර්මාණකරුවන්ට සම්මාන හා මුදල් ත්‍යාග පිරිනැමීමත් ඔවුන්ට වෙළෙඳපොල අවධානයක් යොමු කිරීමත් අරමුණු කරගනිමින් මෙම සම්මාන පිදීම සිදුකරන බව පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය පවසයි.

සම්මාන ප‍්‍රදානය විශේෂ කාර්ය අමාත්‍ය සරත් අමුණුගම, ටෙලිකොමි සභාපති කුමාරසිරි සිරිසේන, මහචාර්ය සෝමරත්න බාලසූරිය, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන යනාදීන් විසින් සිදුකර තිබේ.

හොඳම නවකතාව සඳහා පොත් ප‍්‍රකාශකයන්ගේ සංගමය විසින් වසරක් පාසා පිරිනමනු ලබන්නේ ස්වර්ණ පුස්තක සම්මානයයි.

Related posts

Comments are closed.

Top