හිදැස: ඥානසාර ‘රංගනය’, අස්ගිරි ප්‍රකාශය, උතුරු පළාත් සභා ගැටුම සහ OMP අතීරණය

බොදුබලසේනා මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර තෙරුන් නීතියට භාර වීම සහ ඉන්පසුව නිදහස් කිරීම දක්වා දිවගිය සිදුවීම් මාලාව දමිළ පුවත්පත් මගින් දැක තිබුණේ මෙම භික්ෂුව සිරභාරයට ගන්නා ලෙසින් ඉල්ලා සිටි සුළුතර ප්‍රජාවේ හඬ සංසිඳුවීම සඳහා රඟදැක්වූ කූටෝපායයක් ලෙසිනි. දමිළ තීරු ලිපි රචකයන් විසින් නිරන්තරයෙන්ම ඔවුන්ගේ විශ්ලේෂණයන්හි “නාටකය” යන වචනය යොදාගත් අතර, එක් අයෙකුගේ නිර්වචනය වූයේ පසුගිය සතියේ සිදුවීම් යනු කාලයක් තිස්සේ ධාවනය වූ “මෙගා ටෙලිනාට්‍යයක” කූටප්‍රාප්තිය ලෙසිනි.

දමිළ ලියුම්කරුවන් විසින් ලැයිස්තු ගත කළ පරිදි (1) ඥානසාර තෙරුන් අත් අඩංගුවට ගැනීමට වෙන වෙනස් පොලිස් ඒකක හතරක් යෙදවීම, (2) බොදුබලසේනා මහලේකම් හිමි ආරක්ෂා කරන්නේ තමන් නොවන බවට ඉහළ පෙළේ අමාත්‍යවරුන් දෙදෙනකු විසින් ප්‍රකාශ කිරීම, (3) අස්ගිරිය පාර්ශවයේ ප්‍රකාශය සිදුකරන්නට යෙදුණු මොහොත, (4) මුල් බී වාර්තාව (බරපතල චෝදනා අඩංගු වූවා යැයි කියන) පොලිසිය විසින් ඉල්ලා අස්කොට ගැනීම හා යුහුසුලුව උක්ත තෙරුන් හට ඇප ලබාදීම මෙන්ම (5) අගමැතිවරයා හා ජනාධිපතිවරයාගේ පසින් මේ සම්බන්ධයෙන් දිගින් දිගටම දක්නට ලැබෙනා මන්දෝත්සාහී බව යන කරුණු සියල්ලම පෙන්වා දෙන්නේ සුළුතරයට එරෙහි ප්‍රචණ්ඩත්වයය සඳහා රාජ්‍යයේ ඇති කුමන්ත්‍රණ හවුල් බවයි. එම නිසා වාර්ගික-ආගමික ප්‍රචණ්ඩත්වය විෂයෙහි රාජ්‍යය යනු තවදුරටත් අකර්මණ්‍ය නිරීක්ෂකයකු නොව, එම වරදෙහි ක්‍රියාකාරී බලවේගයක් බව පෙන්වා දී තිබිණි.

තවදුරටත් ඥානසාර තෙරුන්ගේ අභිප්‍රායයන් සුජාත වන බවට අස්ගිරි පාර්ශවය මගින් කළ සාධාරණීකරණය කිරීම සිංහල පුවත්පත් මගින් කිසිදු විවේචනයකින් තොරව පිළිගන්නට යෙදුණත්, දමිළ පුවත්පත් මගින් තරයේම එම ප්‍රකාශය පිළිකෙව් කොට සිටියේ එය මූලික බෞද්ධ ඉගැන්වීම් උල්ලංඝනය කිරීමඅනුමත කරනා දෘෂ්ටියක් බව ප්‍රකාශ කරමිනි. වීරකේසරී කතුවැකිය මගින් නිරීක්ෂණය කර තිබුණේ, මෙම සිදුවීමේදී නීතිය ආරක්ෂා කිරීමේ අධිකාරීන් හැසිරුණු ආකාරය මගින් සිදුවන්නේ තවදුරටත් සිංහල බෞද්ධ බහුතරවාදී බව ආරක්ෂා කිරීම සහ වෛරී අදහස් වපුරන කණ්ඩායම් වලට ධෛර්යය දීම පමණක් බවයි.

කාටූනය සඳහා අනුග්‍රහය: තිනකුරල් – 2017 ජූනි 27

උතුරු පළාත් සභා අර්බුදය: තිරසාර නොවූ සාමයක්ද?

උතුරු පළාත් සභාව වසා පැතිරුණු අර්බුදය, අවසානයේදී සමර්පණයකට එළැඹිණි. ඒ එල්ල වී තිබූ චෝදනාවන්ගෙන් නිදහස් වූ ඇමැතිවරුන් දෙදෙනාට සිය අමාත්‍යධූරයන්හි දිගටම ක්‍රියා කිරීමට මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් විසින් අවසරය ලබා දීමත්, දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් විසින් ඉලංගෛ තමිල් අරසු කච්චි පක්ෂයේ සාමාජිකයන් හා සාකච්ඡා කොට, විග්නේෂ්වරන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාව ඉවත් කරවීමට කටයුතු කිරීමත් සමගිනි.

කෙසේ වුවත් පෙනී යන්නේ මෙම ගැටළුවට ස්ථිර විසඳුමක් ඇත්තේ තවත් බොහෝ දුරක බවයි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, විශ්වාස භංග යෝජනාව ඉවත් කරගැනීමෙන් පසුව වුවද චෝදනාවන්ගෙන් නිදහස් වූ අමාත්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් පැවැත්වීමේ සිය තීරණය කෙරෙහි විග්නේෂ්වරන් නිර්දයව ‍රැඳී සිටිනා බවක් පෙනී යන අතර, ඉලංගෛ තමිල් අරසු කච්චි සාමාජිකයන් නැවත නැවතත් කියා සිටියේ අමාත්‍යවරුන් පස් දෙනාම – එනම් අදාළ අමාත්‍යවරුන් සිවුදෙනා සහ මහ ඇමැති වරයා – තේරීම් කමි‍ටුවක් ඉදිරිපිටට පැමිණිය යුතු බවයි. තිනකුරල් සමගින් දෙමළ ජාතික සන්ධාන ප්‍රකාශක එම්.ඒ.සුමන්දිරන් විසින් මෑතකදී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු විසින් ඉඟි කොට සිටියේ විශ්වාස භංගය ඉවත් කර ගැනීම ප්‍රධාන වශයෙන්ම දෙමළ ජාතික සන්ධානය එක් ඒකකයක් ලෙසින් පවත්වා ගැනීම පිළිබඳ කරුණක් වන බවයි. එසේම එහිදී ඔහු විසින් පෙන්වා දෙනු ලැබුවේ උතුරු පළාත් සභාවේ බහුතරයේ විශ්වාසය විග්නේෂ්වරන් දිනා නොසිටින බවයි. අනෙක් අතට ජ්‍යෙෂ්ට ඉලංගෛ තමිල් අරසු කච්චි දේශපාලඥයකු වන සී.වී.කේ.සිවඥානම් අපක්ෂපාතී ලෙසින් කටයුතු කිරීමෙන් පසුව වුවත්, විග්නේෂ්වරන් විසින් ප්‍රශ්න කොට සිටියේ ඔහු සභාවේ සභාපති ලෙසින් කටයුතු කිරීමට සුදුසුද යන්න පිළිබඳවයි. එසේම දමිළ දේශපාලන ලියුම්කරුවන් විසින් පෙන්වා දෙන්නට යෙදුණේ, හිස්වූ අමාත්‍ය ධූර පි‍රැවීමද පාලක පක්ෂයේ විග්නේෂ්වරන් පක්ෂ හා විග්නේෂ්වරන් විරෝධී කඳවුරු දෙක සන්ධානයකට පැමිණීමේ ක්‍රියාපටිපාටිය අවහිර කරන ආසන්නතම සිදුවීමක් ලෙසින් පැන නඟිනු ඇති බවයි.

වීරකේසරී මත දැක්වීමේ ලිපියකින් පෙන්වා දී තිබුණේ, විග්නේෂ්වරන් සහ ඉලංගෛ තමිල් අරසු කච්චි අතර ඇති දැඩි දේශපාලනික භේද පිළිසකර කොට නොගතහොත්, අනාගතයේ දීර්ඝ ඉදිරි ගමන සලකා බලන විට උතුරු පළාත් සභාවේ තවත් අර්බුදයක් සහ -යම් විටක දෙමළ ජාතික සන්ධානය තුළ බෙදීමක් – ඇතිවීම නොවැළැක්විය හැකි බවයි. ඉලංගෛ තමිල් අරසු කච්චි මගින් මධ්‍යම රජය හා සහයෝගයෙන් කටයුතු කිරීම විශ්වාස කරනා අතර, විග්නේෂ්වරන් විසින් දිගින් දිගටම පවසන්නේ දමිළ ගැටළු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය වන බවයි. මෙම මූලික ගැටළුව හැරුණු කොට, දෙමළ ජාතික සන්ධාන නායකයන් තුළ වර්ධනය වන විශ්වාසයේ ලුහුඬුතාවය නිසාවෙන් සන්නිවේදන හිදැසක්ද පැන නැඟී තිබුණි. මෙය වඩාත් හොඳින් දක්නට ලැබුණේ අර්බුදයක් උත්සන්න වී ඇති මොහොතක විග්නේෂ්වරන් සහ සම්බන්ධන් කටයුතු කළ ආකාරයත් සමගිනි. ඔවුන් දෙදෙනාම ජීවත් වන්නේ යාපනයේ වුවත් ඔවුන් එකිනෙකා මුණ නොගැසුණු අතර, ඒ වෙනුවට දෙදෙනාම ලිපි මගින් සන්නිවේදනය පවත්වාගන්නට කටයුතු කර තිබිණි.

අතුරුදහන් වූවන් සෙවීමේ කාර්යාලය සහ දමිළ පුවත්පත්

අතුරුදහන් වූවන් සෙවීමේ කාර්යාලයට සංශෝධන සහිතව ඉදිරිපත් වූ පනත, පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වුණි. රජය විසින් මෙය සංහිඳියා යාන්ත්‍රණයක් පිහි‍ටුවීම කෙරෙහි වූ ප්‍රධාන පියවරක් ලෙසින් පෙන්වා දී තිබුණත්, දමිළ පුවත්පත් එය පිළිගත් බවක් පෙනී ගියේ නැත.

තිනකුරල් කතුවැකියෙන් පෙන්වා දුන් පරිදි, මෙම සංශෝධනයන් ගැටළුවකින් තොරව සම්මත වීම මගින්, උක්ත කාර්යාලයේ ක්‍රියාකාරී භාවයට අනිවාර්ය වගකීමක් ලබා නොදේ. විශ්ලේෂකයන් විසින් හඳුනා ගනු ලැබුවේ මෙම කාර්යාලය ක්‍රියාත්මක වන මවු අමාත්‍යාංශය විනිවිද භාවයකින් තොර වීමත්, මෙම කාර්යාලයේ සාමාජිකයන් ලෙසින් පත්කෙරෙන්නේ කවුරුන්ද යන්නත් බරපතලව සැලකිය යුතු කරුණු දෙකක් ලෙසිනි. මෙම කාර්යාලය උතුරේ ස්ථාපිත නොකර කොළඹ ස්ථාපනය කිරීමේ යෝජනාව පිළිබඳව විපක්ෂ නායක සම්බන්ධන් විසින් පළ කළ ප්‍රකාශයන්ගෙන් පසුව ඒ සම්බන්ධ ප්‍රශ්න කිරීම්ද පැන නැගුණි.

අනෙකුත් දමිළ පුවත්පත් මගින් ඉස්මතු කොට දැක්වූ කරුණක් වූයේ මෙම කාර්යාලය විසින් සිදුකරනු ලබන්නේ අතුරුදහන් වූවන්ගේ පවුල්වල අය හට තමන්ගේ ඥාතීන් හට සිදුවූයේ කුමක්ද කියා සොයා බැලීමට සහාය සැපයීම පමණක් බවත් එයින් වරදකරුවන් කවුරුන්ද යන්න පිළිබඳ පරීක්ෂණයන් පැවැත්වීම හෝ ඔවුන් සොයා යෑම කෙසේවත් සිදුනොකෙරෙන බවත් පවසමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ලබාදුන් පොරොන්දුවයි. ඔවුන් තර්ක කොට සිටියේ අතුරුදන් වූ පුද්ගලයකු එසේ අතුරුදහන් කෙරුනේ මන්ද, එය සිදුවූයේ කෙසේද යන ප්‍රශ්න මෙන්ම ඔවුන් අතුරුදහන් කරවීමට වගකිවයුත්තේ කවුරුන්ද වැනි ප්‍රශ්නයට පිළිතුරු සැපයීමකින් තොරව මෙම ගැටළුව නොවිස‍ඳෙනු ඇති බවටයි. එම නිසා ජාත්‍යන්තර ප්‍රජාව සංසිඳවීම සහ අතුරුදන් වූවන්ගේ පවුල් සාමාජිකයන් විසින් ගෙන යන සත්‍යග්‍රහ ව්‍යාපාර කඩාකප්පල් කිරීම හැරෙන්නට, මෙම පනත සම්මත වීමේ වෙනත් උපයෝජ්‍යතාවයක් ඇතැයි දමිළ පුවත්පත් නොදු‍ටු තරම්ය.

 

 

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

Related posts

Comments are closed.

Top