ස්වයංතීරණය යනු රට කැඩීමක් නොවන බව පෙන්වා දෙන නාහිමිවරුන්ගෙන් අස්ගිරියට ප්‍රහාරයක් | VIDEO

බොදු බලසේනා සංවිධානයේ අන්‍යාගම් විරෝධී ප්‍රචණ්ඩ මතවාදය අස්ගිරි මහනාහිමියන් විසින් අනුමත කිරීම හෙලා දකින නාහිමිවරුන් පිරිසක් බලය බෙදීම රට කැඩීමක් බවට විපක්ෂය ප්‍රමුඛ සිංහල බෞද්ධ සංවිධාන නගන චෝදනා අනිසි බියගැන්වීමක් බව අවධාරණය කර සිටිති.

සත්කෝරළයේ උප ප‍්‍රධාන සංඝනායක මහගල්කඩවල පුඤ්ඤසාර හිමියන් කියා සිටියේ ස්වයංතීරණයේ අයිතිය යනු රට කැඩීමක් නොවන බවයි.

එය බලයට ඒම සඳහා විපක්ෂය සැමදාම කී “පට්ටපල් බොරුවක්” බව ආගමික නිදහස සඳහා වූ ව්‍යාපාරය විසින් කොළඹ පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගිවෙමින්  උන්වහන්සේ ප්‍රකාශ කළහ.

“බලය බෙදීමේ න්‍යාය, ඒකෙ රසය ගුණය, සාමාන්‍ය ජනතාවට ඒකෙන් ලැබෙන වරප්‍රසාද ගැන ජනතාව දන්නවා නම් අත් දෙකම උස්සනවා,” යි පැවසූ සංඝනායක හිමියෝ පළාත් සභා පනතේ දැක්වෙන නීත්‍යානුකුල බලතල බෙදා හැරීමට පියවර නොගැනීම දෝෂ දර්ශනයට ලක් කළහ. “පළාත් සභා වලට බලය බෙදුවේ නෑ. බලය බෙදන්නේ නෑ. ඉඩම් බලතල පොලිස් බලතල දෙන්න කියා තිබුනත් උතුරු නැගෙනහිර නොවේ කිසිම පළාත් සභාවකට දීලා නෑ.”

ජාතික ප්‍රශ්නය විසඳන දේශපාලන විසඳුමකට දිගටම බරපතල විරෝධය දැක්වූ ඇතැම් භික්ෂුන් වහන්සේ අද ඒ ගැන ලජ්ජා වන බව ද උන්වහන්සේ කියා සිටියහ.

පුළුල් බලය බෙදීම සහිත ව්‍යවස්ථාවක් ගෙන ඒමට වෑයම් කෙරෙන අවස්ථාවක ජාතීන් අතර අසමගිය ඇති කරන අන්දමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන බොදුබලසේනානායක තෙරුන් වෙනුවෙන් අස්ගිරියේ මහනාහිමියන් ඇතුළු කාරක සංඝ සභාව පෙනී සිටීම ආගමික නිදහස සඳහා වූ ව්‍යාපාරයේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය.

අස්ගිරි මහා විහාරයේ  වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයකින් පවසා තිබුනේ,  “ඥානසාර භික්‍ෂුවගේ ආවේගකාරී හැසිරීම් රටාව හා අදහස් ප්‍රකාශන ශෛලිය අප කිසිසේත් අනුමත නොකරන නමුත් උන්වහන්සේගේ මතවාදය බැහැර නොකරන්නෙමු,” යනුවෙනි.

අස්ගිරියේ ඒකීය රාජ්‍යය

ගලබොඩඅත්තේ ඥානසාර තෙරුන්ගේ මතවාදය අනුමත කරමින් අස්ගිරි මහනාහිමියන් නිකුත් කළ නිවේදනය සමස්ත අස්ගිරි පාර්ශවයේ මතය නොවන බව කී ආගමික නිදහස සඳහා වූ ව්‍යාපාරයේ නාහිමිවරුන් පෙන්වා දුන්නේ සමස්ත අස්ගිරි පාර්ශවය නියෝජනය කිරීමට අස්ගිරි කාරක සභාවට ප්‍රජාතන්ත්‍රවාදී වරමක් නැති බවයි.

“අස්ගිරියේ ඇත්තේ ඒකීය රාජ්‍යයක්,” යැයි සත්කෝරළයේ උප ප‍්‍රධාන සංඝනායක මහගල්කඩවල පුඤ්ඤසාර හිමියෝ කියා සිටියහ.

සමස්ත අස්ගිරි පාර්ශවය නියෝජනය කිරීමට අස්ගිරි කාරක සභාවට හැකියාවක් නැති බව ශ්‍රී ලංකා ජාතික සංවර්ධන පදනමේ අධ්‍යක්‍ෂ ජනරාල් හීනැටියේ සමිත ශ්‍රී ශාඛ්‍යපුත්ත හිමියන් පෙන්වා දුන්නේ පන්සල් 19ක අනුමැතියෙන් පත් කරගත යුතු සංඝ සභාව සඳහා ඡන්දය දී ඇත්තේ පන්සල් පහකින් පමණක් බව හෙළි කරමිනි.

මාධ්‍ය හමුවට සහභාගි වූ ඒ හිමියන් විසින් අස්ගිරි නිවේදනය හඳුන්වන ලද්දේ “පාප කර්මයක්” ලෙසිනි.

“බොදු බල සේනාවේ කිසිම භික්ෂුවක් භික්ෂුවක් ලෙස පිළිගන්න බැහැ,” යි උන්වහන්සේ ප්‍රකාශ කළේ ඥානසාර තෙරුන්ට ආචාරශීලී ලෙස ආමන්ත්‍රණය නොකරන අය හෙලා දුටු අස්ගිරි මහනාහිමියන්ට ප්‍රතිචාර දක්වමිනි.

“ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඉදිරිපත් කරන කරුණුවල සත්‍යාසත්‍යභාවය සොයා පිළියම් කරනු වෙනුවට වාමාංශික යයි කියාගන්නා දේශපාලනඥයන් සහ සමාජ ක්‍රියාකාරීන් කිසිදු ගෞරවයකින් තොරව භික්ෂූන් වහන්සේලා විවේචනය කරමින් නමින් පමණක් ආමන්ත්‍රණය කිරීම” හෙළා දකින බව අස්ගිරි නිවේදනයේ දැක්වෙයි.

දේශපාලන හස්තයකින් මෙහෙයවනු ලබන අස්ගිරි සංඝ සභාව ජනතාව නොමග යවන බවට චෝදනා කළ ආගමික නිදහස සඳහා වූ ව්‍යාපාරයේ නාහිමිවරුන් බොදුබලසේනානායක හිමියන්ට සහාය දෙමින් නිකුත් කළ නිවේදනය ඉල්ලා අස් කරගෙන ජාතීන් අතර සමගිය වෙනුවෙන් පෙනී හිඳිමින් සංහිඳියාව  සඳහා කටයුතු කරන ලෙසයි.

වැරදි කරන භික්ෂුන්ට දඬුවම් පැනවීමට ස්ථාවර ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට සංඝයා වහන්සේගේද අනුමැතියෙන් යෝජනාවක් ඉදිරිපත් කර ඇතත්  ආණ්ඩුවේ උපදේශක සංඝයා වහන්සේගේ විරෝධය නිසා එය ක්‍රියාත්මක වීමෙන් වැළකී ගිය බව ද නාහිමිවරු පෙන්වා දුන්හ.

මාතලේ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක දේවහූවේ චන්දානන්ද හිමියෝ ද මාධ්‍යවේදීන් ඇමතූහ.

Related posts

Comments are closed.

Top