පළාත් පාලන ඡන්ද සිතියම තවත් මාස 3 කට අකුළයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා අනිවාර්ය කොන්දේසියක් වන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම බලාත්මක කිරීමේ ගැසට් නිවේදනය අති විශේෂ ගැසට් පත්‍ර‍යක් මගින් තවත් මාස 3 ක කාලයක් සදහා කල් දමා ඇති බවට දිවයිනේ ප්‍රමුඛතම මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් චෝදනා කරයි.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් මෙම කල් දැමීමට අදාළ ගැසට් පත්‍ර‍යට අත්සන් තබා ඇති බවයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වු ජනතා ව්‍යාපාරය පවසන්නේ.

පලාත් පාලන ඡන්ද විමසීමේ පනතට අනුව අමාත්‍යවරයා ට අත්තනෝමතික ලෙස මැතිවරණ කල්දැමීමේ කිසිදු බලයක් නොමැති අතර මෙය “ලැජ්ජා සහගත ලෙස මැතිවරණ සිතියම අකුලා දැමීමක් බව” එය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කරන කැෆේ සංවිධානය ප්‍ර‍කාශ කරයි.

අදාළ පනත 2017 ජූලි 1 දින සිට ක්‍රියාත්මක වීමට නියමිත තිබූ අතර එම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ 2017 අප්‍රේල් 7 දින යි.

“යහපාලන රජය මැතිවරණ සිතියම අකුලා දැමීමට කොපමණ කටයුතු කළ ද, ඔවුන්ට අවධාරණය කළ යුතුව ඇත්තේ පළාත් සභා මැතිවරණය ජනමත විචාරණයකින් තොරව කල් දැමිය නොහැකි බවයි,” යැයි එම නිවේදනයේ දක්වා තිබේ.

පළාත් සභා 3 ක මැතිවරණ කල් දැමීමට ද, මේ වන විට යහපාලන රජය ලැජ්ජා නැති උත්සාහයක‍ නිරතව බවට කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් චෝදනා කරයි.

ජනාධිපතිවරණය?

පළාත් පාලන මැතිවරණය ඔක්තෝබර් 1 දිනට කල් දැමීමත් ඔක්තෝබර් 2 දින පළාත් සභා 3 ක ඡන්ද විමසීමට ගැසට් නිවේදන නිකුත් කිරීමට නියමිතව තිබීමත් අහම්බයක් නොවන බව ද කැෆේ සංවිධානයේ විශ්වසය යි.

ලංකාවේ මැතිවරණ සිතියම අකුලා දැමීමටට කොතරම් උත්සහ කළ ද, 2019 නොවැම්බර් හෝ දෙසැම්බර් මස ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව “මැතිවරණ කල් දැමීමේ සකල විධ උපක්‍ර‍ම සදහා යොමු වෙමින් සිටින” පාර්ශව වෙත එම සංවිධානය අවධාරණය කරයි.

ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා අත්තනෝමතික අයුරින් පළාත් පාලන මැතිවරණ කල්දැමීම සිදු කළ ද, මැතිවරණ කොමිෂන් සභාව නියමිත පරිදි 2017 ඔක්තෝබර් 2 නැගෙනහිර, උතුරු මැද හා සබරගමුව පළාත් සභා ඡන්ද විමසීම සදහා වන ගැසට් නිවේදනය ප්‍ර‍කාශයට පත් කරනු ඇතැයි ද කැෆේ සංවිධානය විශ්වාසය පළ කරයි.

Related posts

Comments are closed.

Top