ව්‍යවස්ථා විරෝධය “බඩේ ඉන්න දරුවාට කේන්දර හැදීමක්”: මල්වතු අනුනාහිමි | VIDEO

හිටපු ජනාධිපතිවරයා පෙරටු කොට ගත් දේශපාලන බලවේග ව්‍යවස්ථා සම්පාදනයට එරෙහිවීම  “හිතේ මවාගත් එකක්” සම්බන්ධයෙන් මතුකරන නොමනා විරෝධයක් බවට මල්වතු අනුනාහිමි නමක් විසින් හිටපු ආරක්ෂක ලේකම් වරයා හමුවේ දෝෂ දර්ශනයට ලක් කරන ලදී.

 

තවමත් කෙටුම්පත් කොට නැති අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩු විරෝධී කණ්ඩායම කරන උද්ඝෝෂණය අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම විසින් හඳුන්වනු ලැබුවේ “බඩේ ඉන්න දරුවාට කේන්දර හැදීමක්” ලෙසිනි.

 

උන්වහන්සේ හිටපු ඒ බව කියා සිටියේ ත්‍රෛනිකායික මහනාහිමියන් ප්‍රමුඛ තමන්ද ඇතුලත් සංඝ නියෝජිත මණ්ඩලයක් අලුතින් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට විරෝධය පා ජනාධිපතිවරයා හමුවූ දිනට පසුදා මල්වතු-අස්ගිරි  නාහිමි වරුන් බැහැ දැකීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහනුවරට ගිය අවස්ථාවේය.

අනිසි උද්ඝෝෂණයක්

 

හිටපු ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම  “අනවශ්‍ය  හිතේ  මවා ගත්තු දේවල් ගැනත් අනිසි විදියට උද්ඝෝෂණය කරනවා,” යි දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියෝ පැවසූහ.  “දැන් අපේ සම්මත කරන්න එන පනත ගැන උද්ඝෝෂණය කරනවා. නමුත් ඒ පනත ගැන කිසිම ලියවිල්ලක් මොකක්වත් නෑ. නැති එකක් ගැන අර බඩේ ඉන්න දරුවාට කේන්දර හදන්න බෑනේ. ඒක වැරදියි .”

 

මල්වතු අනුනාහිමියන් ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව කළ  කරුණු පැහැදිලි කිරීම හිස වනමින් අසා සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, උන්වහන්සේ හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතා  ව්‍යවස්ථා  සම්පාදනයට එරෙහි තම දැඩි ලෙස විරෝධය නැවතත් පල කර සිටියේය.

යුද්ධයේදී අපරාධ කළ අය සම්බන්ධයෙන් දේශීය වශයෙන් නීතිමය පියවර ගන්නා බවට නව හමුදාපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ “දැන් දඬුවම් දෙන්න සුදානම් වීම වැරදි වැඩක්,” බවයි.

Related posts

Comments are closed.

Top