මුහුදේ ගිය අලියකු ගොඩට ගෙන ඒමට නාවික හමුදා මෙහෙයුමක්

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කෝකිලායි ප්‍රදේශයට අයත් කොක්කුතුඩුවායි සිට නාවික සැතපුම් 8 ක් පමණ දුරකදී සැඩ පහරට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලියකු බේරා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් 11 අගහරුවාදා උදෑසන එම අලියා බේරා ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.

මුර සංචාරයේ නියුතු වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් මෙම අලියා ගසාගෙන යන බව පළමුවෙන්ම නිරීක්ෂණය කර ඇත.

පසුව ඒ සඳහා මුර සංචාරයේ නියුතු තවත් වේග ප්‍රහාරක යාත්‍රාවක් සහ නාවික හමුදා කිමිදුම් අංශයේ නාවිකයන් කණ්ඩායමක් ද කඩිනමින් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

තවද, සෙඩ්රික් යාත්‍රා 2 ක් මගින් ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලගණයට අයත් නාවිකයන් 7 දෙනෙකු අලියා බේරා ගැනීමේ මෙහෙයුම සඳහා අනුයුක්ත කිරීමට ද කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

 

එම කටයුත්ත සදහා වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද එක්වී ඇති අතර, ඔවුන්ගේ උපදෙස් මත නාවික හමුදා සාමාජිකයන් විසින් අලියා බේරා ගැනීමේ මෙහෙයුම් සිදු කර ඇත.

දැඩි පරිශ්‍රමයක් දරමින් අලියාට උපද්‍රවයක් සිදු නොවන ලෙස කඹ යොදා ගෙන එම ගැඹුරු මුහුදේ සිට නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික භටයන් කටයුතු කර තිබේ.

වනාන්තර දෙකක් අතර පිහිටි කෝකිලායි කලපුව තරණය කරන්නට යාමේදී අලියා ගසාගෙන යන්නට ඇති බව නාවික හමුදාව විශ්වාස කරයි.

“සමහර අවස්ථාවල උන් නොගැඹුරු දියේ බැහැලා යනවා, නැතිනම් පීනනවා,” යි නාවික හමුදා ප්‍රකාශක චමින්ද වළාකුලුගේ පවසයි.

අලියා පුල්මුඩේ, යාන්ඔය ප්‍රදේශයට රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා වන ජීවී නිලධාරීන් වෙත භාර දීමට ද කටයුතු කළ බව නාවික හමුදාව වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

Comments are closed.

Top